► ♪ ♫

Posts Tagged ‘ෆීමෝ ලෙවි’

මනුෂ්‍යයා යනු කුමක්ද? – ෆ්‍රීමෝ ලෙවි

In quote from a Book, quoted poem on February 25, 2009 at 12:03 pm

“සුරක්ෂිත නිවෙස් වල වෙසෙන ඔබ
කෙතරම් සුරක්ෂිත ද කිවහොත්
සවස් කල නුඹ ගෙදර එන විට
සෙනෙහෙබර බිරිඳ හා සුරතල් දරුවෝ
සිටිති, ඔබ සෙනහසින් පිළිගැනීමට
උණුසුම් බොජුන් ඇත කුස පිරෙන්නට
ප්‍රිය මිතුර,
එවන් ඔබ – මා කියන මෙවදන්
අසනු මැන සිත් යොමා අමතක නොවන ලෙස

දුක් කඳුළු බොමින්නේ
රෑ දවල් වෙහෙස වෙමින්නේ
සාමයක් කිසිඳු නැති
බඩසාය නිවා ගැනුමට – පාන් පෙත්තට සටන් කල යුතු
‘ඔව්’ හෝ ‘නැත’ යන වදන් දෙකින්
මරණයට ගොදුරු විය හැකි
මෙවන් මිනිසෙක් සිටිය හැකිද?

නිල් වරල සිඳ දමා
නමක් වෙනුවට අංකයක් ඇති
හැඟීමක් නැති – මළානික නෙතින් යුත්
හේමන්තයේ දැඩි ශිතයෙන්
මිදුනු මැඩියෙකු වැනි
සීතයෙන් ගල් වූ ගර්භාෂයෙන් යුත්
ඉතිරියක් ගැන ඔබට සිතිය හැකිද?

සැබැවින්ම සිදුවූ මෙවන් දේ ගැන සිතන්න
මා පැවසූ මේ පුවත්
ගලේ කෙටූ අකුරු මෙන් – ඔබේ හදවත් තුල
නොමැකෙන ලෙස තැන්පත් විය යුතුය
ඔබ හිඳ සිටින විට
නින්දට සැතපෙන විට
සැතපී අවදිවන විට
මෙවදන් ගැන සිතනු මැන
ඔබේ දරුවන්ගේ හදවත් තුල – නොමැකෙන ලෙස කිසි දිනෙක
තැන්පත් කරනු මැන – මා කියන මෙවදන්

ඔබ ‍එසේ නොකළහොත්
ඔබෙ සුරක්ෂිත නිවස – බිඳ වැටෙනු නියතය
ලෙඩ රෝග ඔබ සොයා එනු ඇත
ඔබේ දරු-මූණපුරෝ
පිළිකුලෙන් ඔබ දෙස බලනු ඇත.”

ෆ්‍රීමෝ ලෙවී 1919-1987
උපුටාගැනීම: බෲනෝ ආපිට්ස් ගේ ‘වෘකයන් අතර නග්නව’ (පරි: සිරිල් බී. පෙරේරා)

Advertisements