► ♪ ♫

Posts Tagged ‘ඩි.එම්. ටිම්රාන් කීර්ති’

තිබුණාවෙ, ඒ මල් පොකුර

In , සිතුවිලි, quoted poem on August 11, 2009 at 11:28 am

‘අද උදෙත් ඇය දොරටුව පාවුලේ
සිනහ මල් පොකුරක් තබා ගියාය’

කොල් බඩ මිතුරු සුළඟට
පිටුපා
ගං දියේ කසු කුසුව
දෙසවනින් පලවා
බොල් පිළිම වෙස් බැන්ද
තවත් එක දවසක
ඉන්ද්‍රජාලික
දියසරැල්ලක් වගේ
මතුවුනා නුඹ පුංචි කිඳුරිය

හඹා යන ජීවිතය
කරදරකාරී හිරුට එරෙහිව
වියදම් කරන
සිනහ මල් කිනිත්තයි නුඹ
අලුත් දවසක පෙරමගට
පිරිත් පැන් ඉහින

වෙන වෙන අරුත් දෙන
එකම ගමනක ඇදෙන
මා ඔයට බඳු
නියත දහමක්
අපට නැති හැටි සොඳුර

මංසලක් වේ
අප අපවම සොයා
තනි තනිව යා යුතු ….

කවි නිමිත්තක පැටලුනත්
නුඹ අද
යාන්ත්‍රික කය රැගෙන
යාත්‍රා කළ යුතුය
තවත් තැනකට හෙට මම
රැහැන් පැටලුම් හැර
තිබුණාවෙ
එතන එහෙමම
‘අර මල් පොකුර’
සුසුම් පදයක රුඳුන
තෙපුල් දෙන
සැමරුමක් විලසින

► ඩි.එම්. ටිම්රාන් කීර්ති
‘විල්තෙර-ලංකා’ (2009 අගොස්තු 09 ඉරිදා) | tracked at 11:08:2009

අවුරුද්ද!

In සිතුවිලි, quote from a News Paper, quoted poem on April 15, 2009 at 8:14 am

මුල මැද අග
නොතේරේ මට
සලකුණු-ලකුණු
නැතිවද
වෙනසකි පුරුදු……

මේ වසන්තය විය
යුතුය….
ගෙඩි බලාගෙන
කොළ හලන වසන්තය
හරි අමුතුය………..

පැටිවියේ-නුසුන් රස
අතුල
රසවත්ම අඩවිය
බදාගෙන සිඹිනු මිස
කාට පවරා දෙන්නද?

යුගයකට ඇහැරුන
මිනිසුන්ය දොර
දොර…….

එරබදු මලක රුව
කොණ්ඩ කැවුමක රස
කාන්තා වැඩසටහනක
ඇත
සුසිර කරගත යුතුය
අපි අපිම……………

බඩ වැටියෙ වැද
කජු ගෙඩියකට
හොටු පෙරාගෙන- පොර
බදාගත්
ඒ දවස්…..
ගෙනියන්න බැරි
උන ගහක් කරතියාගන
පිල්ලෑවේ හති ඇරපු
ඒ දවස්….

ඒ නොවෙද වසන්තය
උන වෙඩිල්ලක
තෙපුල් දුන් හඬ සේ
විසිර ගිය මිහිරක්ව…
උපන් පොළවේ රුව ගුණ
සොයා පාදාගත් දාට
රැහැන් පැටලුම් හැර,
‘අවුරුදු මේලා’
නෙවෙයි…….
‘පිස්සු හැදෙනව!’
ඒ තමයි
‘අවුරුද්ද!’

► ඩි.එම්. ටිම්රාන් කීර්ති

තිබුණාවෙ ඒ මල් පොකුර ..

In , සිතුවිලි, quote from a News Paper, quoted poem on March 19, 2009 at 7:12 am

අද උදෙන් ඇය
දොරටුව පාවුලේ, සිනහ මල් කළඹක්
තබා ගියාය

උපන් පො‍ළොවේ රුවගුණ
මතුවීම නපුරකි
හදවත මාඔ‍යේ
ඉවුරත සඟවා
සෙල් පිළිමයක් වෙමි…
දොරටුව අවහිර කරන්නට
කිසිවෙකුට ඉඩ නොතබමි …

මා ඔයට පිටුපා
නිල්දියේ කසුකුසුව
දෙසවනින් පළවා
‘සෙල් පිළිම වෙස් බැන්ද’
දවසක
ඉන්ද්‍රජාලික දියසරැල්ලක් වගේ
ඒ පුංචි කිඳුරිය මතුවිය

හඹා යන ජීවිතය
කරදරකාරී හිරුට එරෙහිව
වියදම් කරන
සිනහ මල් කිනිත්තයි ඇය
අලුත් දවසක පෙරමගට
පිරිත් පැන් ඉහින …

වෙන වෙන අරුත් දෙන
එකම ගමනක ඇදෙන
මා ඔයට බඳු
නියත දහමක්
අපට නම් නෑ සොඳුර

මංසලක් වේ
හැරී යා යුතු
වෙන වෙනම…
දොරටුව වසා ඇති තෙක්
මා ඔය ඉසව්වේ
අප මැවූ ලෝකයක් ඇත …
කියන්නට කතාවක් ඇත …
කිසිදිනෙක නොකියවුණ …

දොරටුව අවහිර වෙලා
මටත් නොදැනීම
කමක් නෑ
තිබුණාවෙ ඒ මල් පොකුර

► ඩි.එම්. ටිම්රාන් කීර්ති
‘මකරන්ද-රාවය’ (2009 මාර්තු 15 ඉරිදා) | tracked at xx:xx:2009

තිරයෙන් එහා කවියක්

In quote from a News Paper, quoted poem on March 19, 2009 at 7:03 am

සිංහයා නම් නටයි
අසිපත් මුව හතට
හතර කොණ බෝපත් කැපෙයි…

තල් මල් ද පොල් මල් ද
බෑ…! කියාගෙන
පොර මඬල මත
වැටෙයි
තල් කොළෙන් පොල් කොළෙන්
අමුතු ලියකම්
ගෙතෙයි

ගැලරියේ විසිල් පාරත්
දැන් දැන් සැරයි
මල් වෙඩිත් නැගී
දැවුන ලුම්නස්
ඒ නයින් පාරට
වැටෙයි

රූප තිර අසල
මධු බඳුන් පිරෙයි
දේශානුරාගය
ඔඩම් උතුරා
ගලයි …

සැමරුමෙක සද්දෙට
මරණයක් අවදි වී
අතු පැළක, බිරිඳක්
තැවෙයි …

අහසටත් නැති
පොළවටත් නැති
සිංහයා තව නටයි…

► ඩි.එම්. ටිම්රාන් කීර්ති
‘මකරන්ද-රාවය’ (2009 මාර්තු 01)