► ♪ ♫

Archive for the ‘quoted Text’ Category

කැමති නම් ඇවිලෙන්න …

In , quote from a News Paper, quoted Text on August 21, 2010 at 2:15 pm

“බොහෝ දේ උගැන්වීම මඟින් ඔබේ අහංකාරකම තෘප්තිමත් කරගැනීමට උත්සහ නොකරන්න. ජනයාගේ කුතුහලය පුබුදුවාලන්න. මනස් විවර කිරීමම ප්‍රමාණවත්ය. ඒවාට ඕනෑවට වඩා බර නොපටවන්න. ගිනි පුපුරක් පමණක් එහි දමන්න. හොඳ ගිනිගන්නා සුලු කිසියම් දෙයක් වේ නම් එය ගිනිගනු ඇත.”  — ඇනටෝල් ෆ්‍රාන්ස්

අපි ගිනි පුපුරු අවුළුවමු. අපගේ ශ්වසනය ද නොතකා අළු පිඹ අළු කාගෙන අලුයම ගිනි පුපුරු අවුලුවමු. ඒ විවෘත මනසැති ඔබ වෙනුවෙනි. අප පුරාවෘත්තවල සඳහන් ගිනි දෙවියාගෙන් ගින්දර ගෙන ආ  වීරයන් නොවන්නට පුලුවන. අප ගල් යුගයේ ගලට ගල ගසා ගිනි ඉපැද්දූ හොමෝ ඉරෙක්ටස්ලා වන්නට පුලුවන. ඒත් මේ වෑයම අඳුර ඉරා මාවත පහන් කරන පහන් වැටක් වන්නට ඔබට පසුබිම සැකසීමය.

“එන්න, කැමති නම් ඇවිළෙන්න.”

(ඇනටොල් ෆ්‍රාන්ස්ගේ ප්‍රකාශය ටී. අන්ද්‍රදි ගේ ‘විශ්ව ග්‍රන්ථාවලියේ ජේද කෝෂයක්’ ග්‍රන්ථයෙනි.)

– දිශාන් අනුරාධ | 18 පිටුව : (‘රාවය’ – 2010 මැයි 09)

Bhagath Singh – On the path of liberation | ‘නිදහස් අරගලයේ ආදර්ශය, භගත් සිං’ කෘතියෙනි.

In , quote from a Book, quoted Text on July 5, 2010 at 12:19 pm

“…. සැමකෙක්ම පවසනුයේ සත්‍ය ආගම තමන්ගේ විශ්වාසය පමණක් බවය. දුෂ්ඨත්වයේ මුල මෙයයි. අනාගත අරගල‍ය සඳහා මතවාදී ආයුධ අපට සපයන පුරාතන චින්තනයන්ගේ අදහස් සහ අත්හදා බැලීම් සංවර්ධනය කරනු වෙනුවට අපි ගතානුගතික ආගමක සිරවෙමු. මෙලෙස මිනිසාගේ පිබිදීම නිශ්චල ජලාශයක ගිල්වා දමයි.”

“ප්‍රගතිශීලීත්වය වෙනුවෙන් පෙනී සිටින සෑම පුද්ගලයෙකුම පැරණි විශ්වාසයන්ගේ සියලු ඇදහිලි විවේචනය කිරීම අත්‍යවශ්‍යය. කරුණෙන් කරුණ පැරණි විශ්වාසයන්ගේ ගුණය අභියෝගයට ලක් කල යුතුය. සියලු විස්තර විශ්ලේෂණය කර වටහා ගත යුතුය. දැඩි තර්කනයකින් පසුව පවා ඕනෑම දර්ශනයක න්‍යායක් විශ්වාස කිරීමට යොමු වෙයි නම් ඔහුගේ විශ්වාසය පිළිගැනීමට ලක් වේ. ඔහුගේ තර්ක ක්‍රමයේ අඩුපාඩු පැවතිය හැකිය. නැතහොත් සාවද්‍ය විය හැකිය. ඔහුගේ ජීවිතයට මඟ පෙන්වන මූලධර්මය තර්කය බැවින් නිවැරදි වීමට ඔහුට අවස්ථාවක් තිබේ. එහෙත් අන්ධ විශ්වාසය විනාශකාරීය. එය මිනිසා සිය අවබෝධයේ ශක්තියෙන් ගලවා ප්‍රතිගාමියෙකු බවට පත් කරයි.”

“තමා යථාර්ථවාදියෙකු යයි හඳුන්වා ගන්නා ඕනෑම පුද්ගලයෙකු පැරණි විශ්වාසයන්හී සත්‍යයට අභියෝග කළ යුතුය. විශ්වාසයට තර්කයේ නිර්දය ප්‍රහාරයට ඔරොත්තු දිය නොහැකි නම් එය බිඳ වැටේ. ඉන් පසු ඔහු‍ගේ කාර්්‍යය විය යුත්තේ නව දර්ශනයක් සඳහා මූලික කටයුතු වල නියැලීමය. නිශේධනාත්මක පක්ෂය මෙයයි. ධනාත්මක කටයුතුවලට එළැඹෙනුයේ ඉන් අනතුරුවය. එහිදි පැරණි කාලයේ ඇතැම් ද්‍රවශ නව දර්ශනයේ කුළුණු ඉදිකිරීමට භාවිතා කළ හැකිය. මෙම කේෂ්ත්‍රයේ ප්‍රමාණවත් අධ්‍යයන සිදුකර නොමැති බව මම පිළිගනිමි. පෙරදිග දර්ශනය හැදෑරීමේ දැඩි අභිලාෂයක් මා තුළ තිබුණ ද මට ඒ සඳහා තිබුණේ සීමිත අවස්ථාවක් සහ කාලයකි.එහෙත් මා ඉපැරීණ ිවිශ්වාස ප්‍රතික්ශේප කල පමණින් එය විශ්වාසයක් තවත් විශ්වාසයයකට එරෙහිව යෙදවීමක් නොවේ. ඊට වඩා ඉපැරණි විශ්වාසවල ගුණයට ප්‍රබල තර්ක මඟින් අභියෝග කිරීමට මට පුලුවන. මානව ප්‍රගමනය රඳා පවතින්නේ සොබා දහම පාලනය කිරීමට මිනිසා දක්වන සමත්කම මත බව අපි විශ්වාස කරමු. එය පසුපස සවිඥානික බලවේගයක් නොමැත. අපගේ දර්ශනය එයයි.”

‘නිදහස් අරගලයේ ආදර්ශය, භගත් සිං’ කෘතියෙනි.

Bhagath Singh – On the path of liberation
By Shiv Verma
පරිවර්තනය: උදිත අලහකෝන් (සමාජවාදී තරුණ සංගමයේ ප්‍රකාශනයක්)

බත්තලංගුණ්ඩුව –

In quote from a Book, quoted Text on October 28, 2009 at 3:51 pm

.. .ඉගෙන ගැනීම යනු පාසල් යාමද? විභාග සමත් වීම ද? හුදකලාව විසින් මා උස්සා පොළොවේ ගසනු ලැබූ වාර හිසේ කෙස්සටත් අධික ය. කියැවීම පූර්ණකාලීන ආත්මලම්භනය වුවත්, එය හුදෙකලාවෙන් අත්මිඳීමේ භාවිතයක් නොවිණ. සිතන නැගෙන ඇතැම් දේ කුරුටු ගෑමට මා ඇබ්බැහි වූයේ කිටවීමෙන් ලත් ආවේශයෙන් වුවද ඒ තුළ දෘශ්‍යමාන වූයේ ජීවිතයේ ම ප්‍රතිබිම්බයයි. හුදෛකලාවේ ගැඹුරුතර ගුප්තභාවයයි.

හුද‍‍දෙකලාවේ හිර ගෙට
එළිය වෑහේ ඉඳ හිට
කදෝපැණි මිතුරාණෙනි,
මඟහැරැණා ද මඟතොට . .. p-33


..

මිනිසෙකුට අවම වශයෙන් තම ජීවිතය හා බද්ධ විය හැකි එකඳු මිනිසෙකු හෝ අවශ්‍ය වන බව මම විශ්වාස කරමි. මිත්‍රයා යනු ‘මචං’ කියනා පමණට ගොඩනඟා ගත්තෙකු නොවේ. ‘එන්නං මචං’ කියාගෙන අතවනාගෙන යන අය ද මිත්‍රයන් ලෙස හැඳින්වීමේ පුරුද්දක් හෝ ඇබ්බැහියක් අප තුළ පවතී. දෛනිකව කෙනෙකු හමුවූ පළියට එය මිත්‍රත්වය මත තබා විග්‍රහ කළ නොහේ. මිත්‍රයා යනු ද මිත්‍රත්වය ක් මිස පුද්ගල නාමයක් නොවේ.

අවම වශයෙන් මේ ලකුණු හදවත ස්පර්ශ වන එක් කෙනෙකු හෝ තමන් වෙත ඇහුම්කන් දෙනවාට අප කැමතිය. එය හැම මිනිසෙකුගේ ම අවශ්‍යතාවයකි. මිනිසුන් එසේ කරනුයේ හිත් හිස් කරගැනීමට ය. අලුත් සිතිවිලි පහළ වන්නේ එවිට ය. සැහැල්ලුව පිරෙන විට සිත අලුත් සිතුවිලි දලු දමයි.

p-126

සිතිවිලි අහුරකට අත තියා
වළාකුළු වෙන්නැයි පවසමි
දැන් මගේ ඒ සිතුවිලි
ආකාශයේ ඇවිද යයි
අහසේ පාව එන
මගෙම සිතිවිල්ලක් බලා මා දෙස
කියයි මෙලෙස හිමිහිට
“උඹ තිතක්”

කියමි මම
මගේ ඒ සිතිවිල්ලට
ලෝකයේ
“විශ්වයේ තිතක් වන් ලෝකයක
“තිතක් වන් දූපතක
තිතක්වත් නොවනා කොදෙව්වක
තිතක් වන්නේ කෙළෙසද?
ඒත් සිතුවිලි මිත්‍රය !
ඔබ තිතක්
හිතක් පපුවක් තිබෙන p-122

► ‘බත්තලංගුණ්ඩුව’
මංජුල වෙඩිවර්ධන

කල් ඉකුත්වූවකුගේ අසම්පූර්ණ සටහන

In quote from a News Paper, quoted Text on October 28, 2009 at 2:54 pm

“මෙය හුදෙක්ම අසම්පූර්ණ සටහනකි. මන්ද සියල්ලම ක්‍රමය තුල අසම්පූර්ණව පවතින බැවිනි. ඒකායන අරමුණකින් මේ සටහන කූටප්‍රාප්ති කරන්නටද මට අවැසි නැත. අප කල් ඉකුත් වූ මිනිසුන් බැවිනි. කල් ඉකුත් වූ බිස්කට්, සාඩින්, නූඩ්ලස්, රූපවාහිනී වැඩසටහන්, මතවාද අතර කල් ඉකුත් වූ යනු කාලය අවසන් වූ හෝ කාලයට ඉදිරියෙන් සිටින යනුවෙන් අවැසි පරිදි අරුත් ගන්වාගත හැකිය.”

“කෙසේ වුවත් තව දුරටත් ක්‍රමය සමඟ ස්වීකරණය වන්නට බැරි වී ඇතිවුන් කල් ඉකුත්වූවෝ මිස අන් කවරහුද? ඒකාකාරී ශ්‍රමික දිවියක අවසන නිවසට පැමිණ මෙගාවක් සමඟ රෑ බත නිමවා රමණයෙන් පසු මරණයට පත්වූ ලෙස නිද්‍රෝපගත වීමේ ජීව චක්‍රයටම අනුගතව දවසරින සූවාසූ දහසකට එක්වීමේ අමාරුව නිසා කල් ඉකුත් වූවෝ වෙමු. බොහෝමයක් නැත ටික දෙනෙකි. කලකට පෙරදී මෙන් තලුමරන්නට න්‍යායික චුයිංගමයකුත්, මනඃකල්පිත සිහිනයකුත් නැත.”

“ක්‍රමයේ වහළ යට වහලකු වීමටද නොහැකිය. එහෙත් මේ කූට වාණිජ මහා නගරයේ ගරිල්ලා මාර්කැට්ටුවේ විකිණී ගියෝ තුංග හදවත්ය. තුඟු විසල් (යැයි පෙනුණු) මිනිසුන්ය. අප වැනි සංකේත වටිනාකම් රහිත අල්ප ප්‍රාණීහු නොවෙති. වෙහෙර ගිලී ගිය පසු අග්ගලා නම් කවරේද? මේ තතු යටතේ සාමුහික දිවිනසා ගැනීමකට හෝ ගරිල්ලා මාර්කට් එකට ගොස් වැඩිම මිලකට හදවත විකුණා දැමීමට මේ ලියුම්කරැ යෝජනා කර සිටියි.”

ප.ලි:
“පළමුවැනි යෝජනාව ටිකක් බය හිතෙන එකකි. දෙවැනි එක ටිකක් කැත හිතෙන්නකි. (ඒක නම් එච්චර අවුලක් නෑ වගේ) මේ අමාරුම කරකවා අතහැරි මොහොත පහුවෙන තුරු නිශ්ක්‍රියව සිට අළු යට ඉස්ක්‍රාවක් වෙන්න බැරිද? නමුත් මැද මාවත කියා ජාතියක් නැති බවක්ද කියා ඇත.”

► සඳුන් ප්‍රියංකර විතානගේ
රාවය | 18 පිටුව (2009 ඔක්තොබර් 18)

නුඹ + මම = මම.

In quote from a News Paper, quoted Text on October 5, 2009 at 4:02 pm

“ජීවිතේ කියන්නෙ මොකක්ද? කියලා මං තේරුම් ගත්තෙ මගෙන්මයි. මං ආදරය කරපු දේවල් තිබුණේ බොහොම සීමීත ගණනයි. ඒ අතරින් පෑනට මම ගොඩක් ආදරය කළා. ඒ ගැන හිතන කොට මට හිතෙනවා, පෑනට මගෙ මුළු ජීවිතයම සින්න වුණාද කියලා. මම ගොඩක් පුංචි කාලේ ඉදලම තනියෙන් හිතන්න පුරුදු වුණා. ඒත්, ගොඩක් හුදකලා චරිතයක් විදියට මාව දැක්ක සමහරු හිතුවෙ, මං නිකම්ම නිකං චරිතයක් කියලා. ඒත් මට හිතුන විදියට මම ගොඩක් සමාජශීලි චරිතයක්. මම මගේ අතට අහුවෙන හැම පොතක්ම කියෙව්වා.. ඒ දේවල් තුළින් මං හිතන්න පුරුදු වුණා. ඒකට මාව හුරුකළේ නුඹ. එහෙම කියවන කොට මට හම්බවුණු දේ අතර බොහොම සරල දේ මෙන්ම, සංකිර්ණ දේත් තිබුණා. මං ඒ දෙකටම කැමති වුණා. ඒත් සංකිර්ණ දේට මං ගොඩක් ආශා කළා. ඒ නුඹ තුළින් නුඹ දැකපු ඒ දේ තුළින් මම ලියන්නට පටන් ගත්තා. ලියන්නට හුරු වුණා. ඒත් ඒ ලියපු දේවල් නුඹට හැරෙන්නට, කිසිම කෙනෙකුට පෙන්නල රසවිඳින්න තරම් ශක්තියක් නිර්භීතකමක් මට තිබුණෙ නැහැ කියලා මම හිතනවා. ඒ මං ලඟ තාමත් ඒ නිර්මාණ (මං ලියපු දේවල්) තියෙන හිංදා.”

“කොහොම හරි ඔය විදියට ජීවිතේ ගලා යන කොට නුඹ මගෙ ජීවිතේට, නුඹවත් නොහිතපු ලෙසට ඇතුළු වෙලා. නුඹට තිබුණෙ මගෙ ආකල්පමයි, අදහස්මයි, මම ඒ දේවල් දැක්කෙ නුඹ තුළින්. ඒ කොහොම වුණත් මම නුඹත් එක්ක බොහෝ දේ සාකච්ඡා කළා. සමහර වෙලාවට මම නුඹ සමඟ උරණ වුණා. ඒත් අන්තිමේදී, මාව සම්පූර්ණ වෙන්න නුඹ අවශ්‍ය වුණා. ඒක සත්‍යයක්. ඒ තුළින් අපව තේරුම්ගන්න ශක්තියක් ලැබුණා. නුඹ බොහොම දාර්ශණික අදහස් දැක්වුවා. මම ඒවට ගොඩක් ආශා කළා. මෙහෙම යන කොට මට ගොඩක් ප‍්‍රශ්න ආවා. ජීවිතය හා සම්බන්ධ ඒ වෙලාවෙ නුඹ මට පැවසුවා, ප‍්‍රශ්න කියන්නෙ ජීවිතය තුළින් එක් අංශුවක් පමණක් බව, සමහරුන්ට නුඹ හරිම ගැටළුවක් වුණා. ඒක මම හොඳින් දන්නවා. ඒ වුණත් මට ජීවිතය දුන්නේ නුඹ. ඒක මං බය නැතුව කියනවා. මට ජීවිතය මේකයි කියලා, කියලා දුන්නෙ නුඹ. ඒ දේත් මට දුන්නෙ නුඹ. ඒකත් මං කියන්නෙ බය නැතුව, කොහොම හරි නුඹ තුළින් දැකපු දේ මඟින් මම විප්ලවවාදී අදහස් දරන්නත් පටන් ගත්තා. ඒ දේවල් හි හරි වැරදි පෙන්නුවෙ නුඹ. .. “

“ඒත් නුඹ පෙන්වපු ලෙසට නුඹ නොමැති ජීවිතයක් මට නැති බව මම දැන ගත්තා.
නුඹ මගේමයි.
නුඹ මනස මම ශරීරය , නුඹ + මම = මම.
ඉතිං ආයුබෝවන්, නුඹට නොවේ මට.”

► චමිලා චාන්දනී, ඇහැලියගොඩ
(ඉරිදා ලංකාදීප 2002.12.29)

The Wretched of the Earth | මිහිතලේ අසරණයෝ – Frantz Fanon

In quoted Books, quoted Text on October 5, 2009 at 3:00 pm

“සමාජීය විප්ලවයක් තුලින් ස්වාධීනත්වය ලබා නොගත්තේ නම්, එහි එකම ප්‍රතිඵලය බටහිර සධන පංතියේ නියෝජිතයා වශයෙන් ක්‍රියා කරන ජාතික සධන පංතිකයන් බලයට පත්වීම යැයි ෆැනොන් ප්‍රකාශ කළේය. යටත් විජිතවාදී ක්‍රමයේ අතරමැදියෙකු ලෙස වර්ධනය වූ මෙම ජාතික සධන පංතියට ආර්ථිකයේ, යටත් විජිතවාදී රටාව බිඳ දැමීමට නුපුලුවන් බවත් ඔහු පැවසීය. එහෙත්, භුක්ති විඳි වරප්රසාද සහ සමාජයේ ලබා සිටි සූරාකන තත්වය ආරක්ෂා කර ගැනීම තම පරම අරමුණ කර ගන්නා මේ සධන පංතිය මේ සඳහා අවිය කර ගන්නේ, ඒක-පාක්ෂික රාජ්‍ය තන්ත්‍රයකි. ඒ තන්ත්‍රය ඉහල පැලැන්තියට වරප්‍රසාද බෙදා දීමේ මාර්ගයක් වන්නේය. ප්‍රජාතාන්ත්‍රීය දේශපාලන ක්‍රියාවලියකට අර්ථවත් ලෙස සම්බන්ධවනවා වෙනුවට ජනතාව පක්ෂ-ප්‍රතිපත්ති ජය ඝෝෂාවෙන් පිළිගන්නා ජනතා රැළි හා පෙළපාලි වලට පමණක්ම සහභාගි වේ. ඔවුන්ගේ සහභාගිත්වය එයට පමණක්ම සීමා වේ. එවැනි රාජ්‍යයක් යටතේ ගෝත්‍රික හා වර්ගීය භේද ද දියුණු වේ.”

“… විමුක්ති සටනකින් සෑහෙන තරම් දෙදරුම් නොකෑ රටවලුත් යටත් විජිත ග්‍රහනයෙන් මිදේ. ඒ රටවල ද සර්වඥතාඥානයට හිමිකම් කියන දක්ෂ, කපටි බුද්ධිමතුන් සිටිති. යටත් විජිතවාදී සධන පංතිකයන්ගේ ඇසුර ලැබූ කාලයේද ඔවුන් ඉගෙන ගත් ගති පැවතුම් හා සිතුම් පැතුම්, නොවෙනස්ව ඔවුන් තුල පවතින බවද අපට දැකිය හැක. ඊයේ පැවති යටත් විජිත රජයේ මෙන්ම අද පවතින ජාතික ආණ්ඩුවේ ද හුරතල් දරුවන් වූ මොවුහු ඉතිරි වී ඇති යම් ජාතික සම්පතක් වේද, එය ද කොල්ල කෑම සංවිධානය කරති. අද පවතින ජාතික ව්‍යසන මාර්ගයෙන් කිසිඳු අනුකම්පාවක් නැතුව ඔවුහු තම අභිවෘද්ධිය සාදා ගනිති. …
… වෙළදාම ජනසතු කරනු යැයි ඔවුහු තරයේම කියා සිටිති. ඒ කියන්නේ වෙළදපොල හා ලාභ ගෙන දෙන ව්‍යාපාරික කටයුතු ස්වදේශිකයන්ට පමණක් සීමා කිරීමටයි. ඇත්ත වශයෙන්ම න්‍යායක් වශයෙන් ඔවුන් කියා සිටින්නේ ජාතිය කොල්ලකෑම ජනසතු ව්‍යාපාරයක් බවට පෙරලීමේ අවශ්‍යතාවය…”

p-12,13

► ‘The Wretched of the Earth’ By Frantz Fanon
පරිවර්තනය: ‘මිහිතලේ අසරණයෝ’ – මාර්ග පරිවර්ථන 24)

හඬනු පෙම්බර දේශය : ඇලන් පේටන්

In quoted Books, quoted Text on September 11, 2009 at 7:22 am

“… එනයින්, මම මගේ කාලය, මගේ ශක්තිය මගේ කුසලතා දකුණු අප්‍රිකාවට සේවය කිරීම සඳහා කැප කරන්නෙමි. මින්පසු මම අසන්නේ අසවල් දෑ සුදුසුද නුසුදුසුද කියා නොවේ. එය නිවරදිද කියා පමණක් අසන්නෙමි. මා මෙය කරන්නේ මම ශේෂ්ඨ හෝ ආත්මාර්ථකාමී නොවන නිසා හෝ ‍නොවේ. ජීවිතය ලිස්සා යන බැවිනි. මගේ ඉතිරි ගමන් මඟ සඳහා මා නොරවටන තාරකාවක් මට අවශ්‍ය බැවිනි. මට බොරු නොකරන මාලිමා යන්ත්‍රයක්, මට උවමනා බැවිනි. මා මෙය කරන්නේ, මා නීග්‍රෝවරුන්ට ආදරය කරමින් මගේම වර්ගයාට වෛර කරන නිසා නොවේ. වෙන දෙයක් කිරීමට අවශ්‍ය යමක් මා තුළ මට සොයාගත ‍නොහැකි බැවිනි. එකක් අනෙක සමඟ තුලනය කරන විට මම ව්‍යාකූල වෙමි. මෙය පරිස්සම් සහගතදැයි මම අසන විට මම ව්‍යාකූල වෙමි. ජනයා- සුදු ජනයා හෝ කලු ජනයා, යුදෙව්වන් හෝ ජෙන්ටීලයන්, එය අනුමත කරන්නේදැයි විමසන කල, මම ව්‍යාකූල වෙමි. එහෙයින්, නිවැරදි දෑ කුමක්ද, එය කිරීමටද, සත්‍ය කුමක්ද, එය කතා කිරීමටද උත්සහ කරමි.

මා මෙය කරන්නේ නිර්භීත නිසා හෝ අවංක නිසා හෝ නොවේ. මාගේ ගැඹුරුතම ආත්මයේ පවත්නා වූ, ගැටුම අවසානයක් කිරීමේ එකම මඟ මෙය බැවිනි. මගේ ආත්මයේ එක් කොටසක් ඉහලම තැනැත් අපේක්ෂා කරද්දී අනෙක් කොටස සඳහා ඒ තැන ප්‍රතික්ශේප කිරීම, තව දුරටත් මට කල නොහැකි බැවිනි. එසේ ජීවත්වනවාට වඩා මිය යනු කැමැත්තෙමි.

ස්වකීය ස්ථිරසාර විශ්වාසයන් උදෙසා මියලියවුන් පිළිබදව මට දැන් වඩා හොඳින් අවබෝධ වෙයි. එසේ මිය යෑම, ආශ්චර්ය්‍යමත් හෝ විරෝදාර හෝ ශ්‍රේෂ්ඨ බව මම සිතා නොසිටියෙමි. ඔවුහු, ජීවත් වනවාට වඩා, මරණය යෙහෙකැයි සිතූහ. එපමණකි.

මා මෙහෙයවනු ලබන්නේ, විපර්්‍යාසයට භාජනය වූ, ආත්මාර්ථකාමීත්වයක් යැයි මවා පෑම අවංකකම නොවනු ඇත. මා කරන නිවැරදි ක්‍රියාවන්හී මිල කොපමණ වුවත්, ඒ නිවැරදි දෑ කිරීමට මා මෙහෙයවනු ලබන්නේ, මටම අයත් දෙයක් නම් නොවෙමි. …”

– p-216-217

Cry, The Beloved Country : Alan Paton [1948]
පරි: මාලිනී ගෝවින්න | ‘හඬනු පෙම්බර දේශය’ [2000]
ISBN 955-652-053-9

හඬනු පෙම්බර දේශය : ඇලන් පේටන්

In quote from a Book, quoted Text on September 11, 2009 at 6:56 am

“කැඩී බිඳී ගිය ගෝත්‍රය ගැන, පලාගොස් ඇති නීතිය හා චාරිත්‍ර ධර්ම ගැන වැලපෙන්න!. ඔව්, මලගිය මිනිසා පිළිබඳව, වියෝ දුකට පත්ව සිටින බිරිඳ හා දරුවන් ගැන වැලපෙන්න. පෙම්බර දේශය, වැලපෙන්න !. මෙය තවමත් අවසානයට පැමිණ නැත. මිනිසාට සතුටින් විසිය නොහැකි මේ සොඳුරු දේශය මත හිරු කඩා හැලෙමින් තිබේ. ඔහු හඳුනන්නේ ඔහුගේ හදවතේ බිය පමණි.”

– p-94

“වරායේ අතහැර දැමූ දිය කඩක අයිනේ වුවද, දියරැලි නැඟෙයි. අන්ධකාර නිහඬ වනාන්තරයේද කොළයක් පතිත වෙයි. වේයෙක් ඔප දැමූ ලී ජනේලය පිටුපස කා දමයි. කිසිවෙක් නිහඬ නැත. එසේ පෙනෙන්නේ නුණුවණයන්ට පමණි”

– p-235

Cry, The Beloved Country : Alan Paton [1948]
පරි: මාලිනී ගෝවින්න | ‘හඬනු පෙම්බර දේශය’ [2000]
ISBN 955-652-053-9

අසම්මතවාදියා on The Outsider

In , quote from a News Paper, quoted Text on August 27, 2009 at 7:01 am

සාම්ප්‍රදායික මාතෘ ප්‍රේමය, ගැහැනියකට කරන ආලය ඔහුට නො‍තේරෙන බසකි. වංචාවෙන් පිරී තිබූ ඒ බස භාවිත කිරීමට ඔහු උත්සහ කළේ නැත. මර්සෝ, සුචරිතයෙකු හෝ දුෂ්චරිතයකු නොවේ. ඔහු කිසිසේත් කිසියම් කොට්ඨාසයකට ඇතුළත් කළ නොහැකිය. එහෙත් ඔහු අසම්මත චරිතයකි. අසම්මත යන්නෙන් අන්තගාමී ගුඪත්වයක් ප්‍රකට නොකරේ. මිනිසාට ‍හෝ ලෝකයට ආගන්තුක අසම්මතයක් මෙහි නැත. මෙම චරිතය වනාහී මිනිසකු වශයෙන් මිනිස් ලෝකයේ ජීවත්වීම සඳහා අවශ්‍ය වූ අසම්මත තත්ත්වයකි. මෙම චරිතය මිනිසත්බව වසා සිටින අන්ධකාරයට සියුම් ආලෝකයකි. තර්කයෙන් පැහැදිලි කළ හැකි ලෝකය අපට හුරුපුරුදුය. එහෙත්, සැණෙකින් කල්පිතයන් සහ ආලෝකය අතුරුදෙහන් වූ ලෝකයක මිනිසාට තමා අමුත්තෙකි. නොකඩවා පවතින ඒකාකාරී ජීවිත රිද්මය – බලාපොරොත්තු කඩවීම – ආගම විසින් මිනිසා රවටනු ලැබීම – යන සියලු දෙයින්ම මිනිසා අපරිමිත අසහනයකට පත්කරනු ලබයි. කායික ජීවිතයේ උද්වේගකර බවත්, මරණයෙහි නියත බවත් අතර ගැටුම මිනිසා අසරණ බවට පත්කරයි. මර්සෝගේ චරිතය එම අසරණ කිරීමට එරෙහි භවසත්තාවාදී දාර්ශනික සාක්ෂියකි.

හෙටයැ’යි දිනයක් නැත. අප හැම දිනම මිය යන බැවිනි. කිසියම් ලොවක කිසියම් මොහොතක මිනිසා එම ලොවට පිටස්තරයකු සේ හැඟේ. එම කූඩුවෙන් පලායෑමට දොරටුවක්නැත. බලාපොරොත්තු කඩවීම හා මමත්වය ඔහුට අවාසනාත ළඟාකරයි. ඔහු ජීවත් වන්නේ ලෝකය ඉදිරියේ හෝ පසුපසයි. ඔහු තමා විසින්ම දිවි තොර කරගන්නෙකි.

අසම්මතවාදියා ඔහු විසින්ද දිවි තොර කර නොගනී. ඔහුට ජීවත්වීමට අවශ්‍යය. සම්මතයන් ඔහුට අවශ්‍ය නොවේ. සම්මත කිසිවක් ඔහුට නැත. බලාපොරොත්තුව මායාවකි. හෙට ගැන සිතීම නිෂ්ඵලය. වගකීමෙන් තොර ඝාතනයට ඔහු එරෙහි වේ. මිනිසුන් අතර මිනිසෙකු සේ ජීවත්වීමට පෙ‍ළඹේ. මර්සෝ (Indifference) උපේක්ෂාශීලියෙකි.

අසම්මතවාදියා වර්තමානයේ මිනිසෙකු වශයෙන් ජීවත්වීමට උත්සහ දරයි. ඒ සඳහා අහිංසක අරගලයක යෙදෙන මර්සෝ අහිංසකයකු මිස වීරයෙක් නොවේ. ඔහු මිනීමරුවකු වන්නේ ඔහු නොඉවසන සමාජ ක්‍රීඩාවේ නීතිරීති නොසැලකීමෙනි. ඔහු ජීවත්වන්නේද ආගන්තුකයන් අතර ආගන්තුකයකු ලෙසිනි. ඔහුටද ඔහු ආගන්තුකයෙකි. මරී, ‘අනියම් බිරිඳ’ ඔහුට කැමති වන්නේද ඔහුගේ අසම්මත ස්වභාවය නිසාය. සියලු දෙනාම ඔහු පිළිකෙව් කරන විට, ඔහුට අවමන් කරන විට ඇය ඔහුට ආදරය කරයි.

එහෙත් අවසානයේ අපි එම ආගන්තුකයා සමඟ බැඳෙමු. බැඳී සම්මත ලෝකයට ආගන්තුක වෙමු.

ෂන් පොල් සාත්‍ර
(ඇල්බෙයා කැමූගේ The Outsider පිටස්තරයා හි එන මර්සෝ ගැන)

► ‘රාවය’ 16 August 2009 on ‘අවකාශය’ අතිරේකය

The Stranger/The Outsider
By Albert Camus at 1943
සිංහල පරිවර්ථනය:
‘පිටස්තරයා’ – සොමරත්න බාලසූරිය

බර්ටන්ඩ් රසල්: (1)

In quoted Text on August 17, 2009 at 10:00 am

“පවතින සියල්ල ඒ ආකාරයෙන්ම ආරාක්ෂා කරගැනීම මතු පරපුරේ අර්ථයට නොව අනර්ථයට හේතු වේ. මතු පරපුරේ අර්ථ සිද්ධිය උදෙසා අවශ්‍ය යැයි හැඟෙන සියල්ල වෙනස් කිරීම, අලුතෙන් නිර්මාණය කිරීම කිසිඳු අයුරකින් සංස්කෘතිය විනාශ කිරීමක් නොවන්නේ ය.”

► බර්ටන්ඩ් රසල්