► ♪ ♫

Archive for the ‘quote from a News Paper’ Category

කැමති නම් ඇවිලෙන්න …

In , quote from a News Paper, quoted Text on August 21, 2010 at 2:15 pm

“බොහෝ දේ උගැන්වීම මඟින් ඔබේ අහංකාරකම තෘප්තිමත් කරගැනීමට උත්සහ නොකරන්න. ජනයාගේ කුතුහලය පුබුදුවාලන්න. මනස් විවර කිරීමම ප්‍රමාණවත්ය. ඒවාට ඕනෑවට වඩා බර නොපටවන්න. ගිනි පුපුරක් පමණක් එහි දමන්න. හොඳ ගිනිගන්නා සුලු කිසියම් දෙයක් වේ නම් එය ගිනිගනු ඇත.”  — ඇනටෝල් ෆ්‍රාන්ස්

අපි ගිනි පුපුරු අවුළුවමු. අපගේ ශ්වසනය ද නොතකා අළු පිඹ අළු කාගෙන අලුයම ගිනි පුපුරු අවුලුවමු. ඒ විවෘත මනසැති ඔබ වෙනුවෙනි. අප පුරාවෘත්තවල සඳහන් ගිනි දෙවියාගෙන් ගින්දර ගෙන ආ  වීරයන් නොවන්නට පුලුවන. අප ගල් යුගයේ ගලට ගල ගසා ගිනි ඉපැද්දූ හොමෝ ඉරෙක්ටස්ලා වන්නට පුලුවන. ඒත් මේ වෑයම අඳුර ඉරා මාවත පහන් කරන පහන් වැටක් වන්නට ඔබට පසුබිම සැකසීමය.

“එන්න, කැමති නම් ඇවිළෙන්න.”

(ඇනටොල් ෆ්‍රාන්ස්ගේ ප්‍රකාශය ටී. අන්ද්‍රදි ගේ ‘විශ්ව ග්‍රන්ථාවලියේ ජේද කෝෂයක්’ ග්‍රන්ථයෙනි.)

– දිශාන් අනුරාධ | 18 පිටුව : (‘රාවය’ – 2010 මැයි 09)

Advertisements

මතක කවිය

In quote from a News Paper, quoted poem on November 5, 2009 at 3:25 pm

දුර ඈත කඳු පෙතක සිට පැමිණි
නිම්නයක අපිරිමිත සිල් සුවඳ
මතක පිරි ඉල් මහේ සැමදාම
අපේ සිත් සිප වැළඳ හමනවා …
ඔව් මගේ නෑසියනි
ඒ සුවඳ ජීවිතය තනනවා…
කඳුළකින් සුසුමකින් සවිමත්ව
රන් කොතක සිට හමන ඒ සුළඟ
කප් සුවහසක් වුව පාරමී පුරනට
මේ තෙතැති සිත් සවිමත් කරනවා
සත්තකින් ම … නෑසියනි
ඒ සවිය යළිත් වැඩෙනවා
විසඝෝර සපුන් රැඳි කොදෙව්වක
ඉතිහාසයේ නොපළ වූ පිටු අතර
සිට දිලෙන සැදැහැවත් පහන් එළි
අපේ නෙත් හොඳින් හඳුනනවා
සැබැවින්ම… නෙනෑයිනි…
ඒ එළිය අපට මඟ කියනවා
භක්තිමත් කඳුළකින් බිහි කෙරුණු
තථාගත ලෝකයක් සොයා යන මේ ගමන
ළබැඳි උණුසුමින් පණ පෙවෙනවා
ඔව් මගේ නෑසියනි…
මළ නොමළ සියලු සවිමත් පවුරැ
ඒ මගෙහි පෙරමුණේ සිටිනවා

► කතෘ අඥාතය
(අවුරුදු 15කට පමණ පෙර පළවූ ‘අරමුණක සටහන’ නමින් ඡයා පිටපත් මුද්රණයකින් නිකුත්ව තිබූ සමරු කලඹකිනි)
2007 නොවැ. 11 ‘ඉරිදා ලංකා’ පුවත්පත

කල් ඉකුත්වූවකුගේ අසම්පූර්ණ සටහන

In quote from a News Paper, quoted Text on October 28, 2009 at 2:54 pm

“මෙය හුදෙක්ම අසම්පූර්ණ සටහනකි. මන්ද සියල්ලම ක්‍රමය තුල අසම්පූර්ණව පවතින බැවිනි. ඒකායන අරමුණකින් මේ සටහන කූටප්‍රාප්ති කරන්නටද මට අවැසි නැත. අප කල් ඉකුත් වූ මිනිසුන් බැවිනි. කල් ඉකුත් වූ බිස්කට්, සාඩින්, නූඩ්ලස්, රූපවාහිනී වැඩසටහන්, මතවාද අතර කල් ඉකුත් වූ යනු කාලය අවසන් වූ හෝ කාලයට ඉදිරියෙන් සිටින යනුවෙන් අවැසි පරිදි අරුත් ගන්වාගත හැකිය.”

“කෙසේ වුවත් තව දුරටත් ක්‍රමය සමඟ ස්වීකරණය වන්නට බැරි වී ඇතිවුන් කල් ඉකුත්වූවෝ මිස අන් කවරහුද? ඒකාකාරී ශ්‍රමික දිවියක අවසන නිවසට පැමිණ මෙගාවක් සමඟ රෑ බත නිමවා රමණයෙන් පසු මරණයට පත්වූ ලෙස නිද්‍රෝපගත වීමේ ජීව චක්‍රයටම අනුගතව දවසරින සූවාසූ දහසකට එක්වීමේ අමාරුව නිසා කල් ඉකුත් වූවෝ වෙමු. බොහෝමයක් නැත ටික දෙනෙකි. කලකට පෙරදී මෙන් තලුමරන්නට න්‍යායික චුයිංගමයකුත්, මනඃකල්පිත සිහිනයකුත් නැත.”

“ක්‍රමයේ වහළ යට වහලකු වීමටද නොහැකිය. එහෙත් මේ කූට වාණිජ මහා නගරයේ ගරිල්ලා මාර්කැට්ටුවේ විකිණී ගියෝ තුංග හදවත්ය. තුඟු විසල් (යැයි පෙනුණු) මිනිසුන්ය. අප වැනි සංකේත වටිනාකම් රහිත අල්ප ප්‍රාණීහු නොවෙති. වෙහෙර ගිලී ගිය පසු අග්ගලා නම් කවරේද? මේ තතු යටතේ සාමුහික දිවිනසා ගැනීමකට හෝ ගරිල්ලා මාර්කට් එකට ගොස් වැඩිම මිලකට හදවත විකුණා දැමීමට මේ ලියුම්කරැ යෝජනා කර සිටියි.”

ප.ලි:
“පළමුවැනි යෝජනාව ටිකක් බය හිතෙන එකකි. දෙවැනි එක ටිකක් කැත හිතෙන්නකි. (ඒක නම් එච්චර අවුලක් නෑ වගේ) මේ අමාරුම කරකවා අතහැරි මොහොත පහුවෙන තුරු නිශ්ක්‍රියව සිට අළු යට ඉස්ක්‍රාවක් වෙන්න බැරිද? නමුත් මැද මාවත කියා ජාතියක් නැති බවක්ද කියා ඇත.”

► සඳුන් ප්‍රියංකර විතානගේ
රාවය | 18 පිටුව (2009 ඔක්තොබර් 18)

ආදරණීය රාජනී

In quote from a News Paper, quoted poem on October 13, 2009 at 2:07 pm

(රාජනී තීරණාගම ඝාතනයේ විසිවන අනුස්මරණය පසුගිය සැප්තැම්බරයට යෙදී තිබුණි.)

සහජාත සිහින මියැදී
පීතෘත්වය වල් වැදී
වර්ගවාදයේ කුණප පිපිරී
වණ කැළැල් නොමැකී

සිහිනයෙන් හිටිවන
නොහඳුණන නුඹේ රුව දැක
සියොළඟ සලිතව
බියපත්ව ඇස ඇරිමි
ආදරණීය රාජනී

බිඳුණු තල්වැට
ඉණි පෙළින් පෙළ සකසා
පිළිසකර කරමුයි
වහසි බස් දෙති දනෝ
උතුරු මිතුරු නෑ කමේ
සිල්බර සම්මාදමේ

තලෙළු පැහැපත්
නුඹේ මුව මන්දහාසය
නල්ලූර් කෝවිල මුදුනින්
විළිබරින් සැඟවෙන
හිරු සේ
දිසේ

ඉල්ලා සිටියෝ
නිදහසේ හුස්මක්ම නම්
විසංවාදය අහුරා
උණ්ඩයට පියාපත් කොයිබින් ලැබුණේද?

තුණු සිරුරත
කිඳා බැස ගිය මූනිස්සම
ගෝස් ඉරුවක සතපා
උවටැන් කරන සේ
සුවපත් කළ හැකි විණි නම්
උත්තම අරමුණක සළකුණ?

නම කියා අඬ ගැසූ
තුරුණු බිළිඳුන් ඇස
උණ්ඩයට පෙර
නුඹම සුවපත් කළ
මුහුණුවර හැඳිනීද?

උණ්ඩ,
සිත් පිත් නැත උන්ට
නිරායුධ දෑතින්
මුවාකල නොහැක
ඔබ නොදැක උන්නීද?
උන් දැන උන්නේද?

අරගලයේ මාතෘ ස්නේහය
බර ඉසිලූ ගාථාව ඔබ
පණ ගැහෙන තුරුණු හෘදයක
අනිමිස ලෝචනයේ සෙත් කවිය ඔබ

අවියකට වඩා බර හදවතක
අත්වැල එපා කීවෝ පව්කාර
නුඹ අහිමි කළ භූමියෙක
යළි පිපේවිද රන් නෙළුම් මල

ඔබ නැති
සිහින නැති
අරමුණක් නැති
උතුරට
“වසන්තය ඇවිත්”

► චමින්ද විජේසිංහ
රාවය | ‘මකරන්ද’ (2009 ඔක්තොබර් 11)

මගේ කවිය

In quote from a News Paper, quoted poem on October 13, 2009 at 1:40 pm

ඔත්පලව කාලය
‍ගොළුව ඇත හදවත
පුරන්ව ගොස් මිනිසත්කම
ඉරිතලා මගෙ කවි සිත

ලොවම තනි යායක්
කීවත් අපේ මහ කිවිඳු
එලෙසින් දකින ඇස
ගලවාදමයි බොල් පොළොවට

“කොටියා කොටියාමය
දෙමළා දෙමළාමය
මේක අපේ සිංහල රට
ලිවිය යුතුයි සිංහලකම ගැන

තව දස වසරක්
සව් පුරක්වේය මේ ලක
වේලක් කා දිනකට
සැමදෙන දකිවී ඒ සිහිනය”

ඇවිත් ගොන් මඩලාවට
දෑත් විහිදා සිව්දෙස
විද්වත් ඇඳුරු රංචුව
තප්පුලති රෙදි ඇඳගෙනම

► ශක්තික සත්කුමාර
රාවය | 18 පිටුව (2009 ඔක්තොබර් 11)

නුඹ + මම = මම.

In quote from a News Paper, quoted Text on October 5, 2009 at 4:02 pm

“ජීවිතේ කියන්නෙ මොකක්ද? කියලා මං තේරුම් ගත්තෙ මගෙන්මයි. මං ආදරය කරපු දේවල් තිබුණේ බොහොම සීමීත ගණනයි. ඒ අතරින් පෑනට මම ගොඩක් ආදරය කළා. ඒ ගැන හිතන කොට මට හිතෙනවා, පෑනට මගෙ මුළු ජීවිතයම සින්න වුණාද කියලා. මම ගොඩක් පුංචි කාලේ ඉදලම තනියෙන් හිතන්න පුරුදු වුණා. ඒත්, ගොඩක් හුදකලා චරිතයක් විදියට මාව දැක්ක සමහරු හිතුවෙ, මං නිකම්ම නිකං චරිතයක් කියලා. ඒත් මට හිතුන විදියට මම ගොඩක් සමාජශීලි චරිතයක්. මම මගේ අතට අහුවෙන හැම පොතක්ම කියෙව්වා.. ඒ දේවල් තුළින් මං හිතන්න පුරුදු වුණා. ඒකට මාව හුරුකළේ නුඹ. එහෙම කියවන කොට මට හම්බවුණු දේ අතර බොහොම සරල දේ මෙන්ම, සංකිර්ණ දේත් තිබුණා. මං ඒ දෙකටම කැමති වුණා. ඒත් සංකිර්ණ දේට මං ගොඩක් ආශා කළා. ඒ නුඹ තුළින් නුඹ දැකපු ඒ දේ තුළින් මම ලියන්නට පටන් ගත්තා. ලියන්නට හුරු වුණා. ඒත් ඒ ලියපු දේවල් නුඹට හැරෙන්නට, කිසිම කෙනෙකුට පෙන්නල රසවිඳින්න තරම් ශක්තියක් නිර්භීතකමක් මට තිබුණෙ නැහැ කියලා මම හිතනවා. ඒ මං ලඟ තාමත් ඒ නිර්මාණ (මං ලියපු දේවල්) තියෙන හිංදා.”

“කොහොම හරි ඔය විදියට ජීවිතේ ගලා යන කොට නුඹ මගෙ ජීවිතේට, නුඹවත් නොහිතපු ලෙසට ඇතුළු වෙලා. නුඹට තිබුණෙ මගෙ ආකල්පමයි, අදහස්මයි, මම ඒ දේවල් දැක්කෙ නුඹ තුළින්. ඒ කොහොම වුණත් මම නුඹත් එක්ක බොහෝ දේ සාකච්ඡා කළා. සමහර වෙලාවට මම නුඹ සමඟ උරණ වුණා. ඒත් අන්තිමේදී, මාව සම්පූර්ණ වෙන්න නුඹ අවශ්‍ය වුණා. ඒක සත්‍යයක්. ඒ තුළින් අපව තේරුම්ගන්න ශක්තියක් ලැබුණා. නුඹ බොහොම දාර්ශණික අදහස් දැක්වුවා. මම ඒවට ගොඩක් ආශා කළා. මෙහෙම යන කොට මට ගොඩක් ප‍්‍රශ්න ආවා. ජීවිතය හා සම්බන්ධ ඒ වෙලාවෙ නුඹ මට පැවසුවා, ප‍්‍රශ්න කියන්නෙ ජීවිතය තුළින් එක් අංශුවක් පමණක් බව, සමහරුන්ට නුඹ හරිම ගැටළුවක් වුණා. ඒක මම හොඳින් දන්නවා. ඒ වුණත් මට ජීවිතය දුන්නේ නුඹ. ඒක මං බය නැතුව කියනවා. මට ජීවිතය මේකයි කියලා, කියලා දුන්නෙ නුඹ. ඒ දේත් මට දුන්නෙ නුඹ. ඒකත් මං කියන්නෙ බය නැතුව, කොහොම හරි නුඹ තුළින් දැකපු දේ මඟින් මම විප්ලවවාදී අදහස් දරන්නත් පටන් ගත්තා. ඒ දේවල් හි හරි වැරදි පෙන්නුවෙ නුඹ. .. “

“ඒත් නුඹ පෙන්වපු ලෙසට නුඹ නොමැති ජීවිතයක් මට නැති බව මම දැන ගත්තා.
නුඹ මගේමයි.
නුඹ මනස මම ශරීරය , නුඹ + මම = මම.
ඉතිං ආයුබෝවන්, නුඹට නොවේ මට.”

► චමිලා චාන්දනී, ඇහැලියගොඩ
(ඉරිදා ලංකාදීප 2002.12.29)

අලුත් එළියක ලකුණු මතුවෙයි

In quote from a News Paper, quoted poem on October 5, 2009 at 3:36 pm

අලුත් එළියක ලකුණු මතුවෙයි
එදෙස තරු රැස් අණුව යන්නෙමි
මගේ අදහස් මැරෙන්නේ නෑ
ඔබට එය අඩු නැතිව දෙන්නම්
උදෑසන මල් වී පිපෙන්නම්
රෑට සඳ එළියකින් එන්නම්
ඔබේ සුවඳත්, මගේ සුවඳත්
එකට කැටි කළ සුළඟ වෙන්නම්

► විමලරත්න කුමාරගම
‘වමේ පිටුව’ – 2007 දෙසැ. 09 ‘ඉරිදා ලංකා’ පුවත්පත

විප්ලවවාදියාගේ කව

In quote from a News Paper, quoted poem on October 5, 2009 at 3:25 pm

නොකියාම බැරි විට
ගල් පැලෙන බේගල් කියන්නෙමි
නොකරම බැරි විට – වෙඩි තබා මිනිසුන් මරන්නෙමි
පළා යා යුතු විට
මිනිසු වග දෑතින් තැණුනු දෑ
කඩා බිඳ සුණු විසුණු කරන්නෙමි
එහෙත්..
බිඳකින් වත් නොකිළිටි වූ – අනගිතම සත්‍ය ද
මිනිස් වග කෙරේ වූ අමිලතම සෙනහසද
මිනිස් දෑතින් සැදුණු – සියළු වූ යහපත් දේ කෙරේ
නොබිදෙන භක්තියද …
මහ පොළව මරින් බරවූ දිනක
එහි සුවඳ දසත පැතිරෙන දිනක
මගේ හදවත තුලින් – ඔබට හමුවනු ඇත !

► ‘වමේ පිටුව’ – 2007 දෙසැ. 09
‘ඉරිදා ලංකා’ පුවත්පත

සත්තයි නව ලොව පහන් සිනාසේ …!

In quote from a News Paper, quoted Books, quoted poem on October 5, 2009 at 3:20 pm

පෙනේය ඈතින් එක් දසුනක් අර
සුපැහැදිලිය, ඔබ ඇවිත් බලනු මැන
ලොව හැම පැත්තෙන් පහන් ඇවිල ඒ
නව සිතකින් කවියක් ගයමි මම

නිදහස් වහලුන් නොවෙද අප හැම?
රැවටුන මල් මෙනි සුව දක් අහිමිව
මරා දමමු එක්වී මේ මුසාව
සුපිපේ නව දිවියක් ඒ මරු මුවැ

කටුක බිමක් ලේ ජලයෙන් තෙත් කොට
නීල සස්ස සම්පත් සරසන්නෙමු
මට – හෙට කියමින් ගොඩ වෙන් නොකළෙමු
විෂ දලයක් නෑ අපගේ හිත්වල

දනැති බලැති උන් කෙරුවේ විණම ය
වෙහෙසී වැඩ කළ දෙවියන් අපමය
දුකින් පෙරා දුන් දේ නරකද – නැහැ
ගොලුවී සිටියොත් උන්ගේ ප්රීතිය

අපේ ලෙයින් උන් වැවුනා එය ඇති
තරුණ ලොවද ජීවත් විය යුතුමය
හටනෙදි හමුවූ විට අපි නොයදිමු
බිඳලමු විලුඹින් පාගා පෙණයම

පැලහී – පැලහී අවි ලිනි ජාලේ
තවත් ඇඟිලි මෙන් කර ගැට එල්ලේ
නීචව පතුළට ගිලුනා නොවෙදෝ
දෙවියොත් ඇඬුවා ඉවසුම් නැතිවී

දැවී – පිළිස්සී කළුවුන හර්දේ
ජීවය දෑසේ කැටි වී බබලා
උස් වී රොස් වී ඇවිලෙන ගිනි මැද
සත්තයි නව ලොව පහන් සිනාසේ

මේ ලොව දුක් විඳිනා දිළිඳුන්ගේ
කඳුළු ඇසක හැම, දල්වමු පහනක්
නීචව පතුළේ සිටියා ඔය ඇති
ජයගෙන එය බොමු – එයයි පිපාසය

► ඉස්මාලිකා දාවුද් ‘පිබිදෙන පැය’ 1979-2005 කෘතියෙන් උපුටාගැණිනි.
අනුවාදක: පරාක්‍රම කොඩිතුවක්කු
(2007 මැයි. 07 ‘මව්බිම’)

The Olive Tree | ඔලිව් ගස

In quote from a News Paper, quoted poem on October 5, 2009 at 2:46 pm

ගෙත්තම් කරමින්
කල් ගෙවුමට
විවේක සුව නැත මට
නිතර ලුහු බඳින නිසා මා පසුපස
නිතර මා නිවස සෝදිසි කෙරෙන නිසා

කඩදාසියක් වත් නොසතු හෙයින්
ගෙඋයන් ඔලිව් ගසෙක
කොටා තබන්නට සිතුවෙමි
මගේ සියලු රහස්, මගේ මතක

ප්රේමයේ හා අපේක්ෂාවේ
ජවනිකාවන්ද
මගේ ශෝකාන්තයේ
අමිහිරි පිළිඹිඹුද
සොරාගත් දොඩම් වතු හා
අහිමි වූ සොහොන් කොත් ගැනද
කොටා තබන්නට සිතුවෙමි
මතක සටහනක් සේ,
මතු දවස නැගෙන තුරු ජයගොස

උන් සොරාගත් අපේ දේපළෙහි අංකයන්
සිතියමෙහි මගේ ගම පිහිටි තැන
වනසා දැමූ ගේ දොර – උඳුරා දැමූ ගහකොළ
පොඩිකර දැමූ මල් ගොමු
කෙටිය යුතුමැයි, ඒ සියල් තතු

වධයට ලක් වූවන්ගේ ද
ඔවුන් බැඳි යදම් නිපැදවූවන්ගේද
රැඳවූ සිපිරි ගෙවල ද
සියලු නම් ගම්,
රැකවලුන් කළ ශාපයන්
නැඟූ දොස් දෙවො‍ල්…
කොටා තබන්නෙමි, එකිනෙක

අපේ පොළව රත් පැහැ කළ
සදාරණීය යාසිම්
සදාදරණීය කාසිම්
ඔබ රැ‍ඳේ සදාකල් මතකයේ
කොටා තබනෙමි ඔබේ නාමයන්
සියල්ලටම ඉහළින්
කොටා තබන්නට සිතුවෙමි
මා දරා සිටි
නිමක් නැති දුක් වේදනාවන්
ශෝකයේ හිණි පෙතෙහි
මුදුන් පෙතට ම නැගුණු

හිරැගේ පැමිණිලි
සඳුගේ මිමිණිලි
සියොතුනගේ ගී හඬ
නැගෙන මේ පාළුබිම
සිහි ගන්වන බොහෝ දේ
කෙටිය යුතුමැයි මේ
ගඋයනේ ඔලිව් ගස මත
දිගින් දිගටම

► තව්ෆික් සෙයියාද්, පලස්තීනය
පරිවර්තනය: කපිල කුමාර කාලිංග
(2006 දෙසැ. 24 – ‘මව්බිම’)