► ♪ ♫

Archive for the ‘සිතුවිලි’ Category

තිබුණාවෙ, ඒ මල් පොකුර

In , සිතුවිලි, quoted poem on August 11, 2009 at 11:28 am

‘අද උදෙත් ඇය දොරටුව පාවුලේ
සිනහ මල් පොකුරක් තබා ගියාය’

කොල් බඩ මිතුරු සුළඟට
පිටුපා
ගං දියේ කසු කුසුව
දෙසවනින් පලවා
බොල් පිළිම වෙස් බැන්ද
තවත් එක දවසක
ඉන්ද්‍රජාලික
දියසරැල්ලක් වගේ
මතුවුනා නුඹ පුංචි කිඳුරිය

හඹා යන ජීවිතය
කරදරකාරී හිරුට එරෙහිව
වියදම් කරන
සිනහ මල් කිනිත්තයි නුඹ
අලුත් දවසක පෙරමගට
පිරිත් පැන් ඉහින

වෙන වෙන අරුත් දෙන
එකම ගමනක ඇදෙන
මා ඔයට බඳු
නියත දහමක්
අපට නැති හැටි සොඳුර

මංසලක් වේ
අප අපවම සොයා
තනි තනිව යා යුතු ….

කවි නිමිත්තක පැටලුනත්
නුඹ අද
යාන්ත්‍රික කය රැගෙන
යාත්‍රා කළ යුතුය
තවත් තැනකට හෙට මම
රැහැන් පැටලුම් හැර
තිබුණාවෙ
එතන එහෙමම
‘අර මල් පොකුර’
සුසුම් පදයක රුඳුන
තෙපුල් දෙන
සැමරුමක් විලසින

► ඩි.එම්. ටිම්රාන් කීර්ති
‘විල්තෙර-ලංකා’ (2009 අගොස්තු 09 ඉරිදා) | tracked at 11:08:2009

ඇයට

In , සිතුවිලි, quote from Web, quoted poem on June 23, 2009 at 5:01 am

ගලා යන්න දිය දහරක් විලස
ජීවිතය පුරා …
වනු මැනව සිසිලසක්
ගිම්හාන සමයේදී …
සොයුරියක සේ වන්න නිබඳ
මා ලග සිටින
මවක සේ සෙනෙහසින්
හොඳ නරක කියා දෙන

ලද බොලඳ පෙම්වතිය
නොම වන්න ලගින් හිඳ
චාටු බස් නොදොඩන්න
සත්‍යබව බිඳ දමන
ජීවිතේ කටුක බව
ජීවිතෙන් දැනෙන කළ
සෙවනැල්ල වන්න ඔබ
ආත්මය ළග හිඳින …

► බන්දුල සේනාරත්න
Posted: 20 Jun 2009 08:48 PM PDT
බූන්දි – අකුරු අනුරාගිකයි – විඳීම් ඉන්ද්‍රජාලිකයි

නොලියූ කවිය

In , සිතුවිලි, quote from a News Paper, quoted poem on May 27, 2009 at 4:35 am

ගැඹුරු වුව, සාගරයට
නිල් දිය බරක් නොවෙයි
අපමණ වුව, තරු රැස
රෑ අහසට වැඩි නොවෙයි

එහෙත් ..
මා සුහඳිනිය,
ඔබ සමීපයෙහි
මට මගේ හදවත
මහා බරකි

ලියූ කවියකට වඩා
නොලියූ කවියක වේදනාව
ඔබ දන්නෙහිය …

ජීවිතය පුරා
ලියන්නට මැවූ,
එහෙත්..
කිසිදිනෙක ලියන්නට නොලැබුනු–
කවියක
සදාකාලික වේදනාව
ඔබ අභියස
නිහඬ කවියකි ..

► ලලිත් කීර්තිරත්න
‘මව්බිම’-කවිකාර මඩුව (2006 දෙසැම්බර් 17) | tracked at xx:05:2009

සිහි කැඳවුම

In , සිතුවිලි, quote from a News Paper, quoted poem on May 10, 2009 at 6:34 am

සිහිනයක පාට සේදින
ජීවිතය එතැන නැවතින
හිස්කම ලඟ රැඳින
නුඹ කොහිදැයි සිතින

හැඩපලු ගෙතුන තැන
වියැකින රටා පලුදුව
දුක් කෙඳි සෙමින් විහිඳෙන
හැඩ නැති පෙමක සැතපින

නොකියන ගීයේ පද නැත
උරනව දුරින් දුරටම
ලන්සුව තබා ආලය
වෛරයෙන් වෛරේ නොසිඳෙන

පෙම් පලහිලව්වක මුල
වෙන් වී ගියේ කිම
නොතියාම මතකය මත
ඔය ඇස්වල කඳුලු කැට

► පරාක්‍රම ඒකනායක

A Tale of Two Cities ‘දෙනුවර කතාවක්’

In , සිතුවිලි, quote from a Book, quoted Text on May 4, 2009 at 11:59 am

“මම නරක ඉරියව් ඇති මිනිසෙක්, මම පාප මිත්‍ර සේවනය කරන්නෙක්. මේ නිසා මා තුළ ඔබ කෙරෙහි ඇති ප්‍රේමය ඔබට පිළිගන්නට හැකි වුවත්, එයින් ඔබට මහත් හානියක් දුකක් වෙන බව මගේ හෘද සාක්ෂිය හොඳට දන්නවා. ඒ වගේම මම හොඳටම දන්නවා මා පිළිබඳ සිතක් ඔබ තුල වන්නට බැරි බව. මම එහෙම ඉල්ලීමක් කරන්නෙත් නැහැ. එක අතකින් මම බොහොම සතුටුයි, මා කෙරෙහි එහෙම හැඟීමක් ඔබට ඇති කර ගන්නට බැරි එක ගැන.

.. මා ගැන මම හොඳට දන්නවා. මම නිකම්ම අළු ‍ගොඩක්. නමුත් ඔබ දැකීමෙන් පස්සෙ ඒ අළු ගොඩට අලුත් ගින්නක් වෙලී ගියා. මේ බව ඔබට දැන්වීමෙන් මට මහත් ප්‍රීතියක්.

මට ඇති එකම සැනසීම තමයි මගේ හෘදය ඔබට අනාවරණය කල බව සිහි කිරීම. මා අද කළ කී දේ වෙන කිසිම කෙනෙකුට නොකියන ලෙස මම ඔබෙන් බැගෑපත් ලෙස ඉල්ලනවා.

එකක් කියන්නම් මම කිසි කලෙක ආයෙත් මේ සම්බන්ධව ඔබට කතා කරන්නේ නැහැ. ඒ නිසා කිසි බයක් හේම වෙන්ට එපා. මා මැරෙන මොහොතේ මා පතන්නේ එකම එක සැනසිල්ලක් පමණයි. මොකද්ද? මගේ අන්තිම ප්‍රකාශය ඔබට කල බවත්, මගේ නමත්, මගේ දුර්වලකමත්, මගේ කම්කටොලුත්, ඔබේ හෘදයේ හි තැන්පත් කල බවත් මතක් කර ගැනීම පමණයි.”

“මා නිසා ශෝකවන්න එපා කුමරිය. ඔබත් කාලකණ්නි මාත් අතර ඇති පරතරය විශාල බව මා දන්නවා.

තව එකක් කියන්ට තියෙනවා. යම් කලෙක, ඔබට දයාඹර ජීවිතයක් ගලවා ගැනීමට මොනම පරිත්‍යාගයක් වුණත් කරන්නට මම නිතරම සූදානම් බව හිතේ තියා ගන්න.”

“මේ ආත්ම පූජාව මම යම් ජීවිතයක් නිසා කරම්ද, ඒ ජීවිතයෝ ඉතා සන්සුන්, ප්‍රයෝජනවත්, ඉසුරුමත් හා වාසනාවන්ත බවට පත්වී….

“ඇ‍ගේ ඇකයේ නිඳන මගේ නම ඇති බිළිඳා වැඩි වයසට පත්වූ විට, වරක් මා අපේක්ෂා කල ජීවිතය හිමි කර ගන්නේය. ඔහුගේ ප්‍රයත්නය කොයි තරම් සාර්ථක වන්නේද කිවහොත්, ඔහුගේ නාමයෙන් මගේ නාමය ද බැබලෙන්නේය. මගේ ජීවිතයේ මා කරගත් කැලැල් රැස එයින් මැකී යන්නේය.”

“මීට පෙර මා කළ සෑම දෙයකටම වඩා ශ්‍රේෂ්ඨ වැඩක් අද මම කරමි. මා දන්නා සෑම විවේක ස්ථානයකටම වඩා පරම රමණීය වූ ශාන්ත භූමියක් කරා මම අද යමි.”

► ‘A Tale of Two Cities‘ (1859) By Charles Dickens
අනුවාදය: ටී.බි. ඉලංගරත්න (‘දෙනුවර කතාවක්’)

පේ‍්‍රමය නොවේ නම්, මිතුරුකම ඇති මට

In , සිතුවිලි on April 26, 2009 at 8:00 pm

දැවී අළුව ගොස් තිබුණු ජීවිතය
අළුත් ගින්නකින් වෙලී ගිය බව, සත්‍යයකි

නෙක තාරකා පිරුණු නිල් අහස මත
මඟ කියන පහන් තරුවක් දිටිමි

නෙක මල් පිපුණු උයනක
අවැසි වූයේ එක් මලක් පමණකි

කටුක දිවි සැරිය මත
රුදුරු වද වේදනා මැද වුව
සිතුවිලි-සිහින තුල
ඇදුණ එක රුවකි

කියන්නට හැකි වෙයි නම් එක් වරක්
නිමේෂයක් ඇති මට
අප‍්‍රකාශිත මේ පෙම
ආත්මාර්ථයෙන් නොකිලිටි වග

ඒ නිමේෂය වටියි
වඩා – දස වසරකට

ඉතිං, මා සුහඳිනිය
පේ‍්‍රමය නොවේ නම්, මිතුරුකම ඇති මට

U/K | tracked at 26:04:2009

දහසක් නෙතු අතර

In , සිතුවිලි, quote from a News Paper, quoted poem on April 22, 2009 at 5:25 am

දහසක් නෙතු අතර – තනි වුණ විටකදී මඳකට
අකීකරු මගේ නෙත – නැවතුනේ නුඹ ලඟයි
නුඹ නොදැන ගත්තාට …
තනිවූ මගේ සිත – හුදකලා වූ සැම විටම
අකීකරු ලෙස මටත් – නොදැනීම
දිවගියේ නුඹ වෙතයි
නුඹ‍ නොදැන ගත්තාට …
අහිංසකව – සැමවිටම
ලෙංගතුව – සෙනහසින්
සිතින් විතරක්ම මා – නුඹට පෙම් කලා
නුඹ නොදැන ගත්තාට …

► ටිනීෂෘ ද සිල්වා
‘ඉරිදා ලංකාදීප’ (2004 නොවැම්බර් 21)

අවුරුද්ද!

In සිතුවිලි, quote from a News Paper, quoted poem on April 15, 2009 at 8:14 am

මුල මැද අග
නොතේරේ මට
සලකුණු-ලකුණු
නැතිවද
වෙනසකි පුරුදු……

මේ වසන්තය විය
යුතුය….
ගෙඩි බලාගෙන
කොළ හලන වසන්තය
හරි අමුතුය………..

පැටිවියේ-නුසුන් රස
අතුල
රසවත්ම අඩවිය
බදාගෙන සිඹිනු මිස
කාට පවරා දෙන්නද?

යුගයකට ඇහැරුන
මිනිසුන්ය දොර
දොර…….

එරබදු මලක රුව
කොණ්ඩ කැවුමක රස
කාන්තා වැඩසටහනක
ඇත
සුසිර කරගත යුතුය
අපි අපිම……………

බඩ වැටියෙ වැද
කජු ගෙඩියකට
හොටු පෙරාගෙන- පොර
බදාගත්
ඒ දවස්…..
ගෙනියන්න බැරි
උන ගහක් කරතියාගන
පිල්ලෑවේ හති ඇරපු
ඒ දවස්….

ඒ නොවෙද වසන්තය
උන වෙඩිල්ලක
තෙපුල් දුන් හඬ සේ
විසිර ගිය මිහිරක්ව…
උපන් පොළවේ රුව ගුණ
සොයා පාදාගත් දාට
රැහැන් පැටලුම් හැර,
‘අවුරුදු මේලා’
නෙවෙයි…….
‘පිස්සු හැදෙනව!’
ඒ තමයි
‘අවුරුද්ද!’

► ඩි.එම්. ටිම්රාන් කීර්ති

.. ඈ

In , සිතුවිලි, quote from a News Paper, quoted Text on March 24, 2009 at 11:01 am

” .. ඈ පිළිබඳ මගේ ප්‍රේමයේ අංශුමාත්‍රිය කලලය හදවත තුළ කවදා කොතැනකදී පිළිසිඳ ගත්තා දැයි මම නොදනිමි. ඒ කවදා වුවද කෙදිනක හෝ අය මගේ සිත සොරාගත් දවසකදීය. මම ඇයට ආදරය කළේ ඇයි? මම ආදරය කරන්නෙ ඇගේ මොනවාටද? යුවතියට මෘදු කැරලි හිසකෙස් ඇති බව සැබෑය. මල් පෙතිවන් දෙතොලුත්, තරුවන් ඇසුත් ඇති බව සැබෑය. පිරිපුන් ළමැදකුත්, පුළුල් නිතඹකුත් ඇති බව සැබෑය. තරුණයෙකුගේ නෙත ගැටුණ සැනින් වරක් දෙවරක් නොව සිය දහස් වරක් හොරෙන් රහසින් අගින් කොනින් අස්සෙන් මුල්ලෙන් ඇයව නැවතත්, නැවත නැවතත් දැක ගැනීමේ උවමනාවක් නිරායාසයෙන්ම ඇති කරවන මොළකැටි රූපකායක් ඇයට හිමිය. නමුදු මා ආදරය කළේ ඇගේ මේ සියල්ලටම නොවන බව මම දනිමි. ඇය පිළිබඳව සිතක් පහල වන්නට, ඈ පිළිබඳව ආකර්ෂණයක් හද තුල ජනිත වන්නට යට කී පසිඳුරන්ගේ සෝභාව හේතු පාදක නොවූවා යැයි කුහකයෙකු සේ ආත්ම වංචාකාරයෙකු සේ මම කිසිදාක නො කියමි. නමුදු දැන් ඒ සියල්ල නැතැත් ඇය අබ්බගාතයෙකු වුවත් මම ඇයට ආදරය කරමි. මගේ ජීවිතය සම්බන්ධ සකලවිද සිහිනයන් සොඳුරු පියුම් සේ මේ දහඅට හැවිරිදි සොඳුරු තරුණියගේ මනමාලකම්, කෝලකම් හා මොලකැටිකම් මත පූදිමින් තිබේ. ‍මේ හීන මියැදුනු දවසක මට ජීවත් විය හැකිදැයි, නොහඬා සිටිය හැකිදැයි මම නොදනිමි. කියවා ඇති බොහෝ නවකතා වලදී මෙන් ඇය උදෙසා ඇස් ඉස් මස් ලේ දන් දීමෙන් හෝ එවන් පරිත්‍යාගයක් කිරීමෙන් ඇයව ලබන්නට තරම් දෛවය ඇයට කුරිරු නොවේවායි මම පතමි. දෙවියන්ගෙන් ඉල්ලනවා නම් මා පළමුවෙන්ම ඉල්ලන්නේ ඇයව මට ලබාදෙන ලෙස නොවේ. ඇයව ජීවිතය පුරා සතුටින් තබන ලෙසය. ගුරු ගීතයෙහි අල්තිනායි ගේ සැපත සතුට වෙනුවෙන් දුයිෂෙන් තම හදවතේ උපන් නිකැලැල් ප්‍රේමය සදාකාලිකව දන් දුන්නේය. එවැනි උදාර එනමුත් අප්‍රසිද්ධ පෙම්වතෙකු වීමේ නිරාමිස ආශාවකින් මම පෙළෙමින් උන්නෙමි. ආදරයක් පටන්ගත යුත්තේ එය ලැබුණු පසු ජීවත් වන අයුරු දෙස සිහින දැක ඒ ඔස්සේ නොවේ. නොලැබුණහොත් ඉන් එහා ජීවත්වන ආකාරය දෙස බලා ඊට සුදානම්වය. .. “

► ‘දුන්හිඳ හැඬුවා’ ‘සමන් එදිරිමුණි’
‘තරුණයා’ (2008 ජුනි 05, බ්‍රහස්පතින්දා) | tracked at 24:03:2009

තිබුණාවෙ ඒ මල් පොකුර ..

In , සිතුවිලි, quote from a News Paper, quoted poem on March 19, 2009 at 7:12 am

අද උදෙන් ඇය
දොරටුව පාවුලේ, සිනහ මල් කළඹක්
තබා ගියාය

උපන් පො‍ළොවේ රුවගුණ
මතුවීම නපුරකි
හදවත මාඔ‍යේ
ඉවුරත සඟවා
සෙල් පිළිමයක් වෙමි…
දොරටුව අවහිර කරන්නට
කිසිවෙකුට ඉඩ නොතබමි …

මා ඔයට පිටුපා
නිල්දියේ කසුකුසුව
දෙසවනින් පළවා
‘සෙල් පිළිම වෙස් බැන්ද’
දවසක
ඉන්ද්‍රජාලික දියසරැල්ලක් වගේ
ඒ පුංචි කිඳුරිය මතුවිය

හඹා යන ජීවිතය
කරදරකාරී හිරුට එරෙහිව
වියදම් කරන
සිනහ මල් කිනිත්තයි ඇය
අලුත් දවසක පෙරමගට
පිරිත් පැන් ඉහින …

වෙන වෙන අරුත් දෙන
එකම ගමනක ඇදෙන
මා ඔයට බඳු
නියත දහමක්
අපට නම් නෑ සොඳුර

මංසලක් වේ
හැරී යා යුතු
වෙන වෙනම…
දොරටුව වසා ඇති තෙක්
මා ඔය ඉසව්වේ
අප මැවූ ලෝකයක් ඇත …
කියන්නට කතාවක් ඇත …
කිසිදිනෙක නොකියවුණ …

දොරටුව අවහිර වෙලා
මටත් නොදැනීම
කමක් නෑ
තිබුණාවෙ ඒ මල් පොකුර

► ඩි.එම්. ටිම්රාන් කීර්ති
‘මකරන්ද-රාවය’ (2009 මාර්තු 15 ඉරිදා) | tracked at xx:xx:2009