► ♪ ♫

Archive for October, 2009|Monthly archive page

බත්තලංගුණ්ඩුව –

In quote from a Book, quoted Text on October 28, 2009 at 3:51 pm

.. .ඉගෙන ගැනීම යනු පාසල් යාමද? විභාග සමත් වීම ද? හුදකලාව විසින් මා උස්සා පොළොවේ ගසනු ලැබූ වාර හිසේ කෙස්සටත් අධික ය. කියැවීම පූර්ණකාලීන ආත්මලම්භනය වුවත්, එය හුදෙකලාවෙන් අත්මිඳීමේ භාවිතයක් නොවිණ. සිතන නැගෙන ඇතැම් දේ කුරුටු ගෑමට මා ඇබ්බැහි වූයේ කිටවීමෙන් ලත් ආවේශයෙන් වුවද ඒ තුළ දෘශ්‍යමාන වූයේ ජීවිතයේ ම ප්‍රතිබිම්බයයි. හුදෛකලාවේ ගැඹුරුතර ගුප්තභාවයයි.

හුද‍‍දෙකලාවේ හිර ගෙට
එළිය වෑහේ ඉඳ හිට
කදෝපැණි මිතුරාණෙනි,
මඟහැරැණා ද මඟතොට . .. p-33


..

මිනිසෙකුට අවම වශයෙන් තම ජීවිතය හා බද්ධ විය හැකි එකඳු මිනිසෙකු හෝ අවශ්‍ය වන බව මම විශ්වාස කරමි. මිත්‍රයා යනු ‘මචං’ කියනා පමණට ගොඩනඟා ගත්තෙකු නොවේ. ‘එන්නං මචං’ කියාගෙන අතවනාගෙන යන අය ද මිත්‍රයන් ලෙස හැඳින්වීමේ පුරුද්දක් හෝ ඇබ්බැහියක් අප තුළ පවතී. දෛනිකව කෙනෙකු හමුවූ පළියට එය මිත්‍රත්වය මත තබා විග්‍රහ කළ නොහේ. මිත්‍රයා යනු ද මිත්‍රත්වය ක් මිස පුද්ගල නාමයක් නොවේ.

අවම වශයෙන් මේ ලකුණු හදවත ස්පර්ශ වන එක් කෙනෙකු හෝ තමන් වෙත ඇහුම්කන් දෙනවාට අප කැමතිය. එය හැම මිනිසෙකුගේ ම අවශ්‍යතාවයකි. මිනිසුන් එසේ කරනුයේ හිත් හිස් කරගැනීමට ය. අලුත් සිතිවිලි පහළ වන්නේ එවිට ය. සැහැල්ලුව පිරෙන විට සිත අලුත් සිතුවිලි දලු දමයි.

p-126

සිතිවිලි අහුරකට අත තියා
වළාකුළු වෙන්නැයි පවසමි
දැන් මගේ ඒ සිතුවිලි
ආකාශයේ ඇවිද යයි
අහසේ පාව එන
මගෙම සිතිවිල්ලක් බලා මා දෙස
කියයි මෙලෙස හිමිහිට
“උඹ තිතක්”

කියමි මම
මගේ ඒ සිතිවිල්ලට
ලෝකයේ
“විශ්වයේ තිතක් වන් ලෝකයක
“තිතක් වන් දූපතක
තිතක්වත් නොවනා කොදෙව්වක
තිතක් වන්නේ කෙළෙසද?
ඒත් සිතුවිලි මිත්‍රය !
ඔබ තිතක්
හිතක් පපුවක් තිබෙන p-122

► ‘බත්තලංගුණ්ඩුව’
මංජුල වෙඩිවර්ධන

Advertisements

කල් ඉකුත්වූවකුගේ අසම්පූර්ණ සටහන

In quote from a News Paper, quoted Text on October 28, 2009 at 2:54 pm

“මෙය හුදෙක්ම අසම්පූර්ණ සටහනකි. මන්ද සියල්ලම ක්‍රමය තුල අසම්පූර්ණව පවතින බැවිනි. ඒකායන අරමුණකින් මේ සටහන කූටප්‍රාප්ති කරන්නටද මට අවැසි නැත. අප කල් ඉකුත් වූ මිනිසුන් බැවිනි. කල් ඉකුත් වූ බිස්කට්, සාඩින්, නූඩ්ලස්, රූපවාහිනී වැඩසටහන්, මතවාද අතර කල් ඉකුත් වූ යනු කාලය අවසන් වූ හෝ කාලයට ඉදිරියෙන් සිටින යනුවෙන් අවැසි පරිදි අරුත් ගන්වාගත හැකිය.”

“කෙසේ වුවත් තව දුරටත් ක්‍රමය සමඟ ස්වීකරණය වන්නට බැරි වී ඇතිවුන් කල් ඉකුත්වූවෝ මිස අන් කවරහුද? ඒකාකාරී ශ්‍රමික දිවියක අවසන නිවසට පැමිණ මෙගාවක් සමඟ රෑ බත නිමවා රමණයෙන් පසු මරණයට පත්වූ ලෙස නිද්‍රෝපගත වීමේ ජීව චක්‍රයටම අනුගතව දවසරින සූවාසූ දහසකට එක්වීමේ අමාරුව නිසා කල් ඉකුත් වූවෝ වෙමු. බොහෝමයක් නැත ටික දෙනෙකි. කලකට පෙරදී මෙන් තලුමරන්නට න්‍යායික චුයිංගමයකුත්, මනඃකල්පිත සිහිනයකුත් නැත.”

“ක්‍රමයේ වහළ යට වහලකු වීමටද නොහැකිය. එහෙත් මේ කූට වාණිජ මහා නගරයේ ගරිල්ලා මාර්කැට්ටුවේ විකිණී ගියෝ තුංග හදවත්ය. තුඟු විසල් (යැයි පෙනුණු) මිනිසුන්ය. අප වැනි සංකේත වටිනාකම් රහිත අල්ප ප්‍රාණීහු නොවෙති. වෙහෙර ගිලී ගිය පසු අග්ගලා නම් කවරේද? මේ තතු යටතේ සාමුහික දිවිනසා ගැනීමකට හෝ ගරිල්ලා මාර්කට් එකට ගොස් වැඩිම මිලකට හදවත විකුණා දැමීමට මේ ලියුම්කරැ යෝජනා කර සිටියි.”

ප.ලි:
“පළමුවැනි යෝජනාව ටිකක් බය හිතෙන එකකි. දෙවැනි එක ටිකක් කැත හිතෙන්නකි. (ඒක නම් එච්චර අවුලක් නෑ වගේ) මේ අමාරුම කරකවා අතහැරි මොහොත පහුවෙන තුරු නිශ්ක්‍රියව සිට අළු යට ඉස්ක්‍රාවක් වෙන්න බැරිද? නමුත් මැද මාවත කියා ජාතියක් නැති බවක්ද කියා ඇත.”

► සඳුන් ප්‍රියංකර විතානගේ
රාවය | 18 පිටුව (2009 ඔක්තොබර් 18)

කියවන්නට දන්නා කම්කරුවෙකුගේ ප‍්‍රශ්න

In quote from a Book, quoted poem on October 13, 2009 at 2:21 pm

තිබිසයේ දොරටු හතේ
මාලිගාව හැදුවෝ කවුරුන්ද?
පොත්වල නම් රජවරුන්ගේ නම්
සඳහන් වේ.

ඉතින්, රජවරු එයට ගල් ඇද්දෝ ද?
තරුණ ඇලෙක්සැන්ඩර්
ඉන්දියාව ආක‍්‍රමණය කළේය
හැබෑවටම ඔහු
තනිවමද එය කළේ?
සීසර් ගලීලය පරාජය කළේය
අරක්කැමියෙක්වත්
ඔහු සමඟ ගියේ නැද්ද?

සිය නැව් හමුදාව පරාජය වීමෙන්
ස්පාඤ්ඤයේ පිලිප් රජු වැලපුණේය
අන් කිසි කෙනෙක් නොවැලපුණේද?
හැම පිටුවකම ඇත්තේ
ජයගත් සැටිය
ඇත්තෙන්ම ජය පානොත්සවය උදෙසා
කෑම උයන්නවත්
එකෙක් නොසිටියේද?

සෑම දස වසරකටම
මහා පුරුෂයෙක් පහළ වේ
මේ සියල්ලටම
වියදම් කළෝ කවුරුහුද?

ඉතින් මෙවැනි පුවත් අපමණය
— කෙළවරක් නැති ප‍්‍රශ්න
පැන නොනැංගේද?

► Bertolt Brecht
පරි: එස්. ජී. පුංච්හේවා | ‘අකුණු පහන’ කාව්‍ය සංග‍්‍රහය

ආදරණීය රාජනී

In quote from a News Paper, quoted poem on October 13, 2009 at 2:07 pm

(රාජනී තීරණාගම ඝාතනයේ විසිවන අනුස්මරණය පසුගිය සැප්තැම්බරයට යෙදී තිබුණි.)

සහජාත සිහින මියැදී
පීතෘත්වය වල් වැදී
වර්ගවාදයේ කුණප පිපිරී
වණ කැළැල් නොමැකී

සිහිනයෙන් හිටිවන
නොහඳුණන නුඹේ රුව දැක
සියොළඟ සලිතව
බියපත්ව ඇස ඇරිමි
ආදරණීය රාජනී

බිඳුණු තල්වැට
ඉණි පෙළින් පෙළ සකසා
පිළිසකර කරමුයි
වහසි බස් දෙති දනෝ
උතුරු මිතුරු නෑ කමේ
සිල්බර සම්මාදමේ

තලෙළු පැහැපත්
නුඹේ මුව මන්දහාසය
නල්ලූර් කෝවිල මුදුනින්
විළිබරින් සැඟවෙන
හිරු සේ
දිසේ

ඉල්ලා සිටියෝ
නිදහසේ හුස්මක්ම නම්
විසංවාදය අහුරා
උණ්ඩයට පියාපත් කොයිබින් ලැබුණේද?

තුණු සිරුරත
කිඳා බැස ගිය මූනිස්සම
ගෝස් ඉරුවක සතපා
උවටැන් කරන සේ
සුවපත් කළ හැකි විණි නම්
උත්තම අරමුණක සළකුණ?

නම කියා අඬ ගැසූ
තුරුණු බිළිඳුන් ඇස
උණ්ඩයට පෙර
නුඹම සුවපත් කළ
මුහුණුවර හැඳිනීද?

උණ්ඩ,
සිත් පිත් නැත උන්ට
නිරායුධ දෑතින්
මුවාකල නොහැක
ඔබ නොදැක උන්නීද?
උන් දැන උන්නේද?

අරගලයේ මාතෘ ස්නේහය
බර ඉසිලූ ගාථාව ඔබ
පණ ගැහෙන තුරුණු හෘදයක
අනිමිස ලෝචනයේ සෙත් කවිය ඔබ

අවියකට වඩා බර හදවතක
අත්වැල එපා කීවෝ පව්කාර
නුඹ අහිමි කළ භූමියෙක
යළි පිපේවිද රන් නෙළුම් මල

ඔබ නැති
සිහින නැති
අරමුණක් නැති
උතුරට
“වසන්තය ඇවිත්”

► චමින්ද විජේසිංහ
රාවය | ‘මකරන්ද’ (2009 ඔක්තොබර් 11)

මගේ කවිය

In quote from a News Paper, quoted poem on October 13, 2009 at 1:40 pm

ඔත්පලව කාලය
‍ගොළුව ඇත හදවත
පුරන්ව ගොස් මිනිසත්කම
ඉරිතලා මගෙ කවි සිත

ලොවම තනි යායක්
කීවත් අපේ මහ කිවිඳු
එලෙසින් දකින ඇස
ගලවාදමයි බොල් පොළොවට

“කොටියා කොටියාමය
දෙමළා දෙමළාමය
මේක අපේ සිංහල රට
ලිවිය යුතුයි සිංහලකම ගැන

තව දස වසරක්
සව් පුරක්වේය මේ ලක
වේලක් කා දිනකට
සැමදෙන දකිවී ඒ සිහිනය”

ඇවිත් ගොන් මඩලාවට
දෑත් විහිදා සිව්දෙස
විද්වත් ඇඳුරු රංචුව
තප්පුලති රෙදි ඇඳගෙනම

► ශක්තික සත්කුමාර
රාවය | 18 පිටුව (2009 ඔක්තොබර් 11)

නුඹ + මම = මම.

In quote from a News Paper, quoted Text on October 5, 2009 at 4:02 pm

“ජීවිතේ කියන්නෙ මොකක්ද? කියලා මං තේරුම් ගත්තෙ මගෙන්මයි. මං ආදරය කරපු දේවල් තිබුණේ බොහොම සීමීත ගණනයි. ඒ අතරින් පෑනට මම ගොඩක් ආදරය කළා. ඒ ගැන හිතන කොට මට හිතෙනවා, පෑනට මගෙ මුළු ජීවිතයම සින්න වුණාද කියලා. මම ගොඩක් පුංචි කාලේ ඉදලම තනියෙන් හිතන්න පුරුදු වුණා. ඒත්, ගොඩක් හුදකලා චරිතයක් විදියට මාව දැක්ක සමහරු හිතුවෙ, මං නිකම්ම නිකං චරිතයක් කියලා. ඒත් මට හිතුන විදියට මම ගොඩක් සමාජශීලි චරිතයක්. මම මගේ අතට අහුවෙන හැම පොතක්ම කියෙව්වා.. ඒ දේවල් තුළින් මං හිතන්න පුරුදු වුණා. ඒකට මාව හුරුකළේ නුඹ. එහෙම කියවන කොට මට හම්බවුණු දේ අතර බොහොම සරල දේ මෙන්ම, සංකිර්ණ දේත් තිබුණා. මං ඒ දෙකටම කැමති වුණා. ඒත් සංකිර්ණ දේට මං ගොඩක් ආශා කළා. ඒ නුඹ තුළින් නුඹ දැකපු ඒ දේ තුළින් මම ලියන්නට පටන් ගත්තා. ලියන්නට හුරු වුණා. ඒත් ඒ ලියපු දේවල් නුඹට හැරෙන්නට, කිසිම කෙනෙකුට පෙන්නල රසවිඳින්න තරම් ශක්තියක් නිර්භීතකමක් මට තිබුණෙ නැහැ කියලා මම හිතනවා. ඒ මං ලඟ තාමත් ඒ නිර්මාණ (මං ලියපු දේවල්) තියෙන හිංදා.”

“කොහොම හරි ඔය විදියට ජීවිතේ ගලා යන කොට නුඹ මගෙ ජීවිතේට, නුඹවත් නොහිතපු ලෙසට ඇතුළු වෙලා. නුඹට තිබුණෙ මගෙ ආකල්පමයි, අදහස්මයි, මම ඒ දේවල් දැක්කෙ නුඹ තුළින්. ඒ කොහොම වුණත් මම නුඹත් එක්ක බොහෝ දේ සාකච්ඡා කළා. සමහර වෙලාවට මම නුඹ සමඟ උරණ වුණා. ඒත් අන්තිමේදී, මාව සම්පූර්ණ වෙන්න නුඹ අවශ්‍ය වුණා. ඒක සත්‍යයක්. ඒ තුළින් අපව තේරුම්ගන්න ශක්තියක් ලැබුණා. නුඹ බොහොම දාර්ශණික අදහස් දැක්වුවා. මම ඒවට ගොඩක් ආශා කළා. මෙහෙම යන කොට මට ගොඩක් ප‍්‍රශ්න ආවා. ජීවිතය හා සම්බන්ධ ඒ වෙලාවෙ නුඹ මට පැවසුවා, ප‍්‍රශ්න කියන්නෙ ජීවිතය තුළින් එක් අංශුවක් පමණක් බව, සමහරුන්ට නුඹ හරිම ගැටළුවක් වුණා. ඒක මම හොඳින් දන්නවා. ඒ වුණත් මට ජීවිතය දුන්නේ නුඹ. ඒක මං බය නැතුව කියනවා. මට ජීවිතය මේකයි කියලා, කියලා දුන්නෙ නුඹ. ඒ දේත් මට දුන්නෙ නුඹ. ඒකත් මං කියන්නෙ බය නැතුව, කොහොම හරි නුඹ තුළින් දැකපු දේ මඟින් මම විප්ලවවාදී අදහස් දරන්නත් පටන් ගත්තා. ඒ දේවල් හි හරි වැරදි පෙන්නුවෙ නුඹ. .. “

“ඒත් නුඹ පෙන්වපු ලෙසට නුඹ නොමැති ජීවිතයක් මට නැති බව මම දැන ගත්තා.
නුඹ මගේමයි.
නුඹ මනස මම ශරීරය , නුඹ + මම = මම.
ඉතිං ආයුබෝවන්, නුඹට නොවේ මට.”

► චමිලා චාන්දනී, ඇහැලියගොඩ
(ඉරිදා ලංකාදීප 2002.12.29)

අලුත් එළියක ලකුණු මතුවෙයි

In quote from a News Paper, quoted poem on October 5, 2009 at 3:36 pm

අලුත් එළියක ලකුණු මතුවෙයි
එදෙස තරු රැස් අණුව යන්නෙමි
මගේ අදහස් මැරෙන්නේ නෑ
ඔබට එය අඩු නැතිව දෙන්නම්
උදෑසන මල් වී පිපෙන්නම්
රෑට සඳ එළියකින් එන්නම්
ඔබේ සුවඳත්, මගේ සුවඳත්
එකට කැටි කළ සුළඟ වෙන්නම්

► විමලරත්න කුමාරගම
‘වමේ පිටුව’ – 2007 දෙසැ. 09 ‘ඉරිදා ලංකා’ පුවත්පත

විප්ලවවාදියාගේ කව

In quote from a News Paper, quoted poem on October 5, 2009 at 3:25 pm

නොකියාම බැරි විට
ගල් පැලෙන බේගල් කියන්නෙමි
නොකරම බැරි විට – වෙඩි තබා මිනිසුන් මරන්නෙමි
පළා යා යුතු විට
මිනිසු වග දෑතින් තැණුනු දෑ
කඩා බිඳ සුණු විසුණු කරන්නෙමි
එහෙත්..
බිඳකින් වත් නොකිළිටි වූ – අනගිතම සත්‍ය ද
මිනිස් වග කෙරේ වූ අමිලතම සෙනහසද
මිනිස් දෑතින් සැදුණු – සියළු වූ යහපත් දේ කෙරේ
නොබිදෙන භක්තියද …
මහ පොළව මරින් බරවූ දිනක
එහි සුවඳ දසත පැතිරෙන දිනක
මගේ හදවත තුලින් – ඔබට හමුවනු ඇත !

► ‘වමේ පිටුව’ – 2007 දෙසැ. 09
‘ඉරිදා ලංකා’ පුවත්පත

සත්තයි නව ලොව පහන් සිනාසේ …!

In quote from a News Paper, quoted Books, quoted poem on October 5, 2009 at 3:20 pm

පෙනේය ඈතින් එක් දසුනක් අර
සුපැහැදිලිය, ඔබ ඇවිත් බලනු මැන
ලොව හැම පැත්තෙන් පහන් ඇවිල ඒ
නව සිතකින් කවියක් ගයමි මම

නිදහස් වහලුන් නොවෙද අප හැම?
රැවටුන මල් මෙනි සුව දක් අහිමිව
මරා දමමු එක්වී මේ මුසාව
සුපිපේ නව දිවියක් ඒ මරු මුවැ

කටුක බිමක් ලේ ජලයෙන් තෙත් කොට
නීල සස්ස සම්පත් සරසන්නෙමු
මට – හෙට කියමින් ගොඩ වෙන් නොකළෙමු
විෂ දලයක් නෑ අපගේ හිත්වල

දනැති බලැති උන් කෙරුවේ විණම ය
වෙහෙසී වැඩ කළ දෙවියන් අපමය
දුකින් පෙරා දුන් දේ නරකද – නැහැ
ගොලුවී සිටියොත් උන්ගේ ප්රීතිය

අපේ ලෙයින් උන් වැවුනා එය ඇති
තරුණ ලොවද ජීවත් විය යුතුමය
හටනෙදි හමුවූ විට අපි නොයදිමු
බිඳලමු විලුඹින් පාගා පෙණයම

පැලහී – පැලහී අවි ලිනි ජාලේ
තවත් ඇඟිලි මෙන් කර ගැට එල්ලේ
නීචව පතුළට ගිලුනා නොවෙදෝ
දෙවියොත් ඇඬුවා ඉවසුම් නැතිවී

දැවී – පිළිස්සී කළුවුන හර්දේ
ජීවය දෑසේ කැටි වී බබලා
උස් වී රොස් වී ඇවිලෙන ගිනි මැද
සත්තයි නව ලොව පහන් සිනාසේ

මේ ලොව දුක් විඳිනා දිළිඳුන්ගේ
කඳුළු ඇසක හැම, දල්වමු පහනක්
නීචව පතුළේ සිටියා ඔය ඇති
ජයගෙන එය බොමු – එයයි පිපාසය

► ඉස්මාලිකා දාවුද් ‘පිබිදෙන පැය’ 1979-2005 කෘතියෙන් උපුටාගැණිනි.
අනුවාදක: පරාක්‍රම කොඩිතුවක්කු
(2007 මැයි. 07 ‘මව්බිම’)

The Wretched of the Earth | මිහිතලේ අසරණයෝ – Frantz Fanon

In quoted Books, quoted Text on October 5, 2009 at 3:00 pm

“සමාජීය විප්ලවයක් තුලින් ස්වාධීනත්වය ලබා නොගත්තේ නම්, එහි එකම ප්‍රතිඵලය බටහිර සධන පංතියේ නියෝජිතයා වශයෙන් ක්‍රියා කරන ජාතික සධන පංතිකයන් බලයට පත්වීම යැයි ෆැනොන් ප්‍රකාශ කළේය. යටත් විජිතවාදී ක්‍රමයේ අතරමැදියෙකු ලෙස වර්ධනය වූ මෙම ජාතික සධන පංතියට ආර්ථිකයේ, යටත් විජිතවාදී රටාව බිඳ දැමීමට නුපුලුවන් බවත් ඔහු පැවසීය. එහෙත්, භුක්ති විඳි වරප්රසාද සහ සමාජයේ ලබා සිටි සූරාකන තත්වය ආරක්ෂා කර ගැනීම තම පරම අරමුණ කර ගන්නා මේ සධන පංතිය මේ සඳහා අවිය කර ගන්නේ, ඒක-පාක්ෂික රාජ්‍ය තන්ත්‍රයකි. ඒ තන්ත්‍රය ඉහල පැලැන්තියට වරප්‍රසාද බෙදා දීමේ මාර්ගයක් වන්නේය. ප්‍රජාතාන්ත්‍රීය දේශපාලන ක්‍රියාවලියකට අර්ථවත් ලෙස සම්බන්ධවනවා වෙනුවට ජනතාව පක්ෂ-ප්‍රතිපත්ති ජය ඝෝෂාවෙන් පිළිගන්නා ජනතා රැළි හා පෙළපාලි වලට පමණක්ම සහභාගි වේ. ඔවුන්ගේ සහභාගිත්වය එයට පමණක්ම සීමා වේ. එවැනි රාජ්‍යයක් යටතේ ගෝත්‍රික හා වර්ගීය භේද ද දියුණු වේ.”

“… විමුක්ති සටනකින් සෑහෙන තරම් දෙදරුම් නොකෑ රටවලුත් යටත් විජිත ග්‍රහනයෙන් මිදේ. ඒ රටවල ද සර්වඥතාඥානයට හිමිකම් කියන දක්ෂ, කපටි බුද්ධිමතුන් සිටිති. යටත් විජිතවාදී සධන පංතිකයන්ගේ ඇසුර ලැබූ කාලයේද ඔවුන් ඉගෙන ගත් ගති පැවතුම් හා සිතුම් පැතුම්, නොවෙනස්ව ඔවුන් තුල පවතින බවද අපට දැකිය හැක. ඊයේ පැවති යටත් විජිත රජයේ මෙන්ම අද පවතින ජාතික ආණ්ඩුවේ ද හුරතල් දරුවන් වූ මොවුහු ඉතිරි වී ඇති යම් ජාතික සම්පතක් වේද, එය ද කොල්ල කෑම සංවිධානය කරති. අද පවතින ජාතික ව්‍යසන මාර්ගයෙන් කිසිඳු අනුකම්පාවක් නැතුව ඔවුහු තම අභිවෘද්ධිය සාදා ගනිති. …
… වෙළදාම ජනසතු කරනු යැයි ඔවුහු තරයේම කියා සිටිති. ඒ කියන්නේ වෙළදපොල හා ලාභ ගෙන දෙන ව්‍යාපාරික කටයුතු ස්වදේශිකයන්ට පමණක් සීමා කිරීමටයි. ඇත්ත වශයෙන්ම න්‍යායක් වශයෙන් ඔවුන් කියා සිටින්නේ ජාතිය කොල්ලකෑම ජනසතු ව්‍යාපාරයක් බවට පෙරලීමේ අවශ්‍යතාවය…”

p-12,13

► ‘The Wretched of the Earth’ By Frantz Fanon
පරිවර්තනය: ‘මිහිතලේ අසරණයෝ’ – මාර්ග පරිවර්ථන 24)