► ♪ ♫

Archive for August, 2009|Monthly archive page

අසම්මතවාදියා on The Outsider

In , quote from a News Paper, quoted Text on August 27, 2009 at 7:01 am

සාම්ප්‍රදායික මාතෘ ප්‍රේමය, ගැහැනියකට කරන ආලය ඔහුට නො‍තේරෙන බසකි. වංචාවෙන් පිරී තිබූ ඒ බස භාවිත කිරීමට ඔහු උත්සහ කළේ නැත. මර්සෝ, සුචරිතයෙකු හෝ දුෂ්චරිතයකු නොවේ. ඔහු කිසිසේත් කිසියම් කොට්ඨාසයකට ඇතුළත් කළ නොහැකිය. එහෙත් ඔහු අසම්මත චරිතයකි. අසම්මත යන්නෙන් අන්තගාමී ගුඪත්වයක් ප්‍රකට නොකරේ. මිනිසාට ‍හෝ ලෝකයට ආගන්තුක අසම්මතයක් මෙහි නැත. මෙම චරිතය වනාහී මිනිසකු වශයෙන් මිනිස් ලෝකයේ ජීවත්වීම සඳහා අවශ්‍ය වූ අසම්මත තත්ත්වයකි. මෙම චරිතය මිනිසත්බව වසා සිටින අන්ධකාරයට සියුම් ආලෝකයකි. තර්කයෙන් පැහැදිලි කළ හැකි ලෝකය අපට හුරුපුරුදුය. එහෙත්, සැණෙකින් කල්පිතයන් සහ ආලෝකය අතුරුදෙහන් වූ ලෝකයක මිනිසාට තමා අමුත්තෙකි. නොකඩවා පවතින ඒකාකාරී ජීවිත රිද්මය – බලාපොරොත්තු කඩවීම – ආගම විසින් මිනිසා රවටනු ලැබීම – යන සියලු දෙයින්ම මිනිසා අපරිමිත අසහනයකට පත්කරනු ලබයි. කායික ජීවිතයේ උද්වේගකර බවත්, මරණයෙහි නියත බවත් අතර ගැටුම මිනිසා අසරණ බවට පත්කරයි. මර්සෝගේ චරිතය එම අසරණ කිරීමට එරෙහි භවසත්තාවාදී දාර්ශනික සාක්ෂියකි.

හෙටයැ’යි දිනයක් නැත. අප හැම දිනම මිය යන බැවිනි. කිසියම් ලොවක කිසියම් මොහොතක මිනිසා එම ලොවට පිටස්තරයකු සේ හැඟේ. එම කූඩුවෙන් පලායෑමට දොරටුවක්නැත. බලාපොරොත්තු කඩවීම හා මමත්වය ඔහුට අවාසනාත ළඟාකරයි. ඔහු ජීවත් වන්නේ ලෝකය ඉදිරියේ හෝ පසුපසයි. ඔහු තමා විසින්ම දිවි තොර කරගන්නෙකි.

අසම්මතවාදියා ඔහු විසින්ද දිවි තොර කර නොගනී. ඔහුට ජීවත්වීමට අවශ්‍යය. සම්මතයන් ඔහුට අවශ්‍ය නොවේ. සම්මත කිසිවක් ඔහුට නැත. බලාපොරොත්තුව මායාවකි. හෙට ගැන සිතීම නිෂ්ඵලය. වගකීමෙන් තොර ඝාතනයට ඔහු එරෙහි වේ. මිනිසුන් අතර මිනිසෙකු සේ ජීවත්වීමට පෙ‍ළඹේ. මර්සෝ (Indifference) උපේක්ෂාශීලියෙකි.

අසම්මතවාදියා වර්තමානයේ මිනිසෙකු වශයෙන් ජීවත්වීමට උත්සහ දරයි. ඒ සඳහා අහිංසක අරගලයක යෙදෙන මර්සෝ අහිංසකයකු මිස වීරයෙක් නොවේ. ඔහු මිනීමරුවකු වන්නේ ඔහු නොඉවසන සමාජ ක්‍රීඩාවේ නීතිරීති නොසැලකීමෙනි. ඔහු ජීවත්වන්නේද ආගන්තුකයන් අතර ආගන්තුකයකු ලෙසිනි. ඔහුටද ඔහු ආගන්තුකයෙකි. මරී, ‘අනියම් බිරිඳ’ ඔහුට කැමති වන්නේද ඔහුගේ අසම්මත ස්වභාවය නිසාය. සියලු දෙනාම ඔහු පිළිකෙව් කරන විට, ඔහුට අවමන් කරන විට ඇය ඔහුට ආදරය කරයි.

එහෙත් අවසානයේ අපි එම ආගන්තුකයා සමඟ බැඳෙමු. බැඳී සම්මත ලෝකයට ආගන්තුක වෙමු.

ෂන් පොල් සාත්‍ර
(ඇල්බෙයා කැමූගේ The Outsider පිටස්තරයා හි එන මර්සෝ ගැන)

► ‘රාවය’ 16 August 2009 on ‘අවකාශය’ අතිරේකය

The Stranger/The Outsider
By Albert Camus at 1943
සිංහල පරිවර්ථනය:
‘පිටස්තරයා’ – සොමරත්න බාලසූරිය

බර්ටන්ඩ් රසල්: (1)

In quoted Text on August 17, 2009 at 10:00 am

“පවතින සියල්ල ඒ ආකාරයෙන්ම ආරාක්ෂා කරගැනීම මතු පරපුරේ අර්ථයට නොව අනර්ථයට හේතු වේ. මතු පරපුරේ අර්ථ සිද්ධිය උදෙසා අවශ්‍ය යැයි හැඟෙන සියල්ල වෙනස් කිරීම, අලුතෙන් නිර්මාණය කිරීම කිසිඳු අයුරකින් සංස්කෘතිය විනාශ කිරීමක් නොවන්නේ ය.”

► බර්ටන්ඩ් රසල්

කඳුළු

In , quoted Text, Uncategorized on August 17, 2009 at 9:38 am

“දෑසින් වැගිරෙන කඳුලක් පිටුපස දිග කතාන්දර වෙයි. දුක, කළකිරීම, පසුතැවීම, නිදහස, ආත්මානුකම්පාව, සැනසීම, විඳවීම, කේන්තිය, වෛරය, අසරණකම වැනි දහසකුත් එකක් හැඟීම් ඒ කුඳුළු වල මිශ්‍ර වී ඇත. කඳුලු දෙස බලන්නට කෙනෙකු නැතිඳු ගලන කඳුළු ජීවිතයේ නපුරුම, අවාසනාවන්තම, කාළකණ්නිම කඳුළු යැයි මට සිතේ”

වස්සානය

In , quoted poem on August 14, 2009 at 6:27 am

ඔය දෑල දොඩමළුය සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුළු කර කෙසේ අතහැර යම්ද
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර නුඹ වගේම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අත ගගා නැමිලා දියට
දිය කෙළින හැටි පුංචි මාළුවන් දුටුවාද
පුරපසේ සඳ එක්ක තරඟයට මෝරන්ට
හුළන් දා ඔය කිම්ද මල් වරව ඉල් මහට?

සෙනේහය පිරී ගිය ඔබෙ නයන නිල් පොකුණු
දිය නිලන වැසි සමේ රැළි නගා උතුරාය
තඹර පෙති අතර හෙල් මැළි රේනූ වැසි වසින
ඔබෙ සිනාවෙන් නිවෙයි හුණුව ගිය ලේ ගිය නහර

දෙවැට දිග කරඳ වැල් ආරුක්කු යට සැඟව
නිල් කුරුලු බිළිඳු නිදි ඇහැරවන්නේ කුමට
රැගෙන දෝතට පෙරා අණුහුමට හිරු එළිය
මිහිරි වම් කිරි වගේ පොවන්නෙමි නුඹලාට

රමණීය වන ගැබෙහි මොනරුනට පිලි වියන
සන්නාලියන් කොහොම ඇන්දාද දේදුන්න
වැසි වතුර ඉහිනවා නම් ඔවුන් විහිළ්වට
කුරුල්ලෝ ඉගිල්ලි වරෙන් නුඹ මා ළඟට

වැහි වළාකුළු රංචු කඳු මුදුන් වල ලඟින
දැන් ඒවි තැනි බිමට සීතලයි මගෙ සිතට
වැසි සමේ රෑ ඇ‍ඳේ සිහිනයක් වී ඉන්න
ඔබ එන්න ඉතිං මගෙ හෙට දවස මට දෙන්න

‘ගිම්හානයේ ගිලන් වී කෘශව සියුමැලිව
ඇදී ඇදී ඉකි ගැසූ ගඟ නැවත පිරිපුන්ය
දුෂ්කරයි කියා හැර යා යුතුද ජීවිතය
කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස’

► රත්න ශ්‍රී විජේසිංහ
‘වස්සානය’ කාව්‍ය සංග්‍රහය.

තිබුණාවෙ, ඒ මල් පොකුර

In , සිතුවිලි, quoted poem on August 11, 2009 at 11:28 am

‘අද උදෙත් ඇය දොරටුව පාවුලේ
සිනහ මල් පොකුරක් තබා ගියාය’

කොල් බඩ මිතුරු සුළඟට
පිටුපා
ගං දියේ කසු කුසුව
දෙසවනින් පලවා
බොල් පිළිම වෙස් බැන්ද
තවත් එක දවසක
ඉන්ද්‍රජාලික
දියසරැල්ලක් වගේ
මතුවුනා නුඹ පුංචි කිඳුරිය

හඹා යන ජීවිතය
කරදරකාරී හිරුට එරෙහිව
වියදම් කරන
සිනහ මල් කිනිත්තයි නුඹ
අලුත් දවසක පෙරමගට
පිරිත් පැන් ඉහින

වෙන වෙන අරුත් දෙන
එකම ගමනක ඇදෙන
මා ඔයට බඳු
නියත දහමක්
අපට නැති හැටි සොඳුර

මංසලක් වේ
අප අපවම සොයා
තනි තනිව යා යුතු ….

කවි නිමිත්තක පැටලුනත්
නුඹ අද
යාන්ත්‍රික කය රැගෙන
යාත්‍රා කළ යුතුය
තවත් තැනකට හෙට මම
රැහැන් පැටලුම් හැර
තිබුණාවෙ
එතන එහෙමම
‘අර මල් පොකුර’
සුසුම් පදයක රුඳුන
තෙපුල් දෙන
සැමරුමක් විලසින

► ඩි.එම්. ටිම්රාන් කීර්ති
‘විල්තෙර-ලංකා’ (2009 අගොස්තු 09 ඉරිදා) | tracked at 11:08:2009