► ♪ ♫

Archive for March, 2009|Monthly archive page

අම්මා

In , quote from a News Paper, quoted poem on March 30, 2009 at 6:01 am

කදුළු කැට පිරි දෙනෙත – දකින්නේ ඔබ රුවයි
නෙක සුසුම් දරා සිත හිතන්නේ නුඹ ගැනය
මගේ ලොව සඳු ඔබයි ආදරයේ උල්පතයි

කඳුලු එන විට නෙතට මතක් වන්නේ ඔබයි
තරහ වුන විට දී දුක හිතෙන්නේ ඒ නිසයි
ඒ කඳුළු ඔබ ලගත් තිබෙන්නේ යැයි සිතෙයි

ළඟ නැතුව ඔබෙ සුවඳ මගේ හදවත හඩයි
ඒ කඳුලු පිසින්නට බෑ මං බොහො දුරයි
ඔබේ සෙනෙහස සොයා එන දිනේ දැන් ළගයි
ඔබේ රුව දකින්නට ඇගිලි ගනිමින් සිටියි

► විමංශි නිරූපමා දිසානායක
‘විදුසර’ විද්‍යා සඟරාව (2002.07.24)

බලන් පුත,

In quote from a News Paper, quoted poem on March 30, 2009 at 5:56 am

බලන් පුත,
නුඹට ජීවිතය
මොදුවන මේ ඉර හඳ යට
තවෙකෙකුට රිදුම් දී
ජීවිතය බැස යන හැටි…

► ධර්ම ශී‍්‍ර
‘පන්නරය-ලංකාදීප’ (2005 අගොස්තු 14 ඉරිදා)

අන්ධකාරය තුළ වධ විඳ නැසී යන ආලෝකයේ සිතුවම – සිද්ධාන්තන්

In quote from a News Paper, quoted poem on March 29, 2009 at 12:43 pm

ජේසුතුමනි,
ඇණ ගැසු මොහොතේ
කුරුසයේ තබා නුඹව
දුකෙන් ද අවමානයෙන් ද
හිස බිමට නැඹුරු කරගත්තේය,
නුඹ
නුඹේ ශිෂ්‍යයෝ කීවේ
කුසගින්න නිසා ද
හිස පහත් වූ බවයි බිමට

කල්වාරි කඳු සුළඟ
පසාරු කරගෙන ගිය
නුඹේ වදන්වල
පිරී තිබුණි,
අඳුරේ වේදනාව
කුරුසයේ දී හැළුණු අමු ලේ
නොදී ඉන්නටයි තිබුණේ
උන්ට
එයට පසුවයි උග්ර වූයේ
ලේ බීමේ උන්මාදය
මිනිසුන් විසින් අමතක කරන ලද
සිනහව
ඇයි තබා ගියේ සතුන් ළඟ
තැන තැන සරමින් සිටි එවාට
සාතන් දුන් පලතුරෙහි
තිබුණේලු නුඹේ දත්පාරවල්
දුටුවෙහි ද?
කැළැවන් අතරේ වැසී ගිය
ඉතිහාසයන් තුළ
නොවියලුන නුඹේ රුධිරය
ජේසුතුමනි
මිනිසුන් නැති ලොවේ
කුමට ද ආලෝකය බවට පත් කළේ?
දූරදර්ශී නුඹේ දෙනෙත්
ඇයි පිටාර ගලා යැව්වේ,
කිසි දින නොසි‍ඳෙන
කඳුළු ගංගා
ජේසුතුමනි,
නුමේ පව් සෝදා හැරීමටවත්
ඉතිරි කර ඇද්ද ඔවුන්
එකම එක ගඟක්?
මිනිසුනගේ සියලුම පව්
කරට ගත්තේ ඇයි නුඹ?
ඉවර වුණා ද එයින් පව්?
නුඹව වටකරගෙන
ලුහුබැඳ ගෙන එන
මිනිසුන්ගේ
පව්කාරකම්වලින් නම්
ගැලවිය නොහැකිය
කිසිඳු ලෙසකින්වත්

► සිද්ධාන්තන්
අනුවාදය: සාමිනාදන් විමල්
(‘රාවය’ පුවත්පත – 2004)

ඔබට හැකිනම් – රූඩ්යාඩ් කිප්ලිං

In quote from a News Paper, quote from Web, quoted poem on March 29, 2009 at 12:34 pm

ඔබ අවට සිටින හැම දෙනම – තමන්ගේ හිස් අවුල් කරගෙන
එහි දොස් ඔබට පවරන විට,
ඔබට තම හිස අවුල් නොකරගෙන සිටිය හැකි නම්

අවට සැම දෙනම – ඔබව සැක කරන විට
ඔබට,
තමා ගැන විශ්වාස කළ හැකි නම්
ඔබට එසේ කිරිමෙන් වෙහෙසට පත් නොවී
බලාපොරොත්තුවෙන් සිටිය හැකි නම්

අනුන් ඔබ ගැන බොරු කියන විට,
ඔබට බොරු නොකියා සිටිය හැකි නම්

අනුන් ඔබට වෛර කරද්දී,
වෛර නොකර සිටිමට ඔබට හැකි නම්

එහෙත්,
අවැසි පමණට වඩා හොඳ බවක්වත්
ප්‍රඥ්ඥාවන්ත බවක්වත්
නොපෙන්වා සිටිය හැකි නම්

සිහින දැකීමට හැකි වුවත්,
සිහින ඔබේ ස්වාමියා – නොකරගෙන සිටිය හැකි නම්

ඔබට සිතිය හැකි නමුත්,
චින්තනය ඔබේ – පරමාර්ථය නොකර ගැනීමට හැකි නම්

ජය පරාජය දෙකට මුහුණ දී
ඒ ප්‍රතිරූපක බොරුකාරයින් දෙදෙනාටම
එකසේ මුහුණ දිය හැකි නම්

ඔබ කියු සත්‍යය – දුර්ජනයින් විසින් විකෘතිකොට
මෝඩයන් හසුකර ගන්නා – උගුලක් ලෙස යෙදුවැයි
අසා දරා සිටීමට හැකි නම්

ඔබ මුළු දිවියම ගතකර ගොඩනැගූ දේ
කැඩී සුණු විසුණුවී ගිය විට,
පහත් වී නැවතත් ගෙවීගිය මෙවලම්වලින් වලින් පවා නැවත
තැනීමට ඔබට හැකි නම්

ඔබ දිනු සියලු දෑ එක ගොඩකට ගසා
එක ඔට්ටුවකට ලබා පැරදී,
නැවත මුල සිට ඇරඹීමට හැකි නම්
ඒ පාඩුව ගැන වචන මාත්‍රයක්වත්
නොදොඩා සිටීමට හැකි නම්

ඒවායේ ශක්තිය හීනවී ගොස්
‘සිටුව,නැවත වැඩ කරව්’ යැයි
කීමට පමණක් ඉතිරිව ඇති ශක්තියෙන්
තමාගේ හදවතට,
ස්නායුවලට හා බල නහර වලට අණ දීමට ඔබට හැකි නම්

‘රුඳී සිටුවයි’ කීමට වඩා ශක්තියක්
ඔබ තුළ ඉතිරිවී නැතිවුවද,
වැඩ ඉසව්වේ රැඳී සිටීමට ඔබට හැකි නම්

තමාට වඩා පහළින් සිටින – ජනයා සමඟ ඇසුරු කළත්
තමන්ගේ උසස් ගති – කෙළෙසා නොගෙන සිටීමට හැකි නම්

රජුන් සමඟ උරහිස් හැප්පුවත්
සාමාන්‍ය ගති නැති නොකරගෙන – සිටින්නට හැකි නම්

සතුරකුටවත් හිතැති මිතුරෙකුටවත්
ඔබට, හානියක් කිරීමට නොහැකි නම්

සියලු දෙනාම ඔබ ගැන බලාපොරොත්තු තැබුවත්
කිසිවෙක් ඕනෑවට වඩ එසේ නොකරන්නේ නම්

සමාව නොදෙන සෑම මිනිත්තුවකම
තප්පර හැටක දිවිල්ලෙන් ඔබට පිරවිය හැකි නම්

මේ මුලු පොළව හා එහි ඇති සියල්ල ඔබගේය
ඒ මතුද නොව, මාගේ පුත
නුඹ මිනිසෙකි.

► රූඩ්යාඩ් කිප්ලිං
අනුවාදය: මහාචාර්ය පුෂ්පකුමාර වී. ප්‍රේමරත්න
knowledgescope බ්ලොග් අඩවියෙන්

සැරව ගලන මගේ රට – අන්තෝනියෝ මචාදෝ

In quote from a News Paper, quoted poem on March 29, 2009 at 12:27 pm

වංචනිකකම නීචකම රැවටිල්ල පවතින කාලයකි මෙය
අපේ ස්පාඤ්ඤයේ ඇඟ පුරාම සැරව ගලන තුවාල
සැණකෙළිවල කෝලම් නැටුම් වලින්
පාට පාට විදුලි බුබුළු සර්ව පිත්තල එළිවලින්
මුවාකරගෙන -පැලැස්තර දමන කාලයකි මෙය

කඩමලු ඇඟලා දුප්පත්කමෙන්, බේබදුකමෙන්
වැහැරී යන ඇගේ
ඔඩු දුවන තුවාල වල හැරව මිරිකා දමා
දෙ අත් අපිරිසිදු කර ගන්නට කවුරුත් අකැමැති කාලයකි මෙය

හබල් ඔරු තොටුපොලේ පල්වෙන්නට තියලා
ප්‍රීති ප්‍රොමෝදයෙන් රත්තරනින් හැදූ නැවි නගින කාලයයි මෙය

මහ සයුරේ හීන බලමින් ඔහේ පාවෙමින් සුරා මතින් නටද්දී
නැවේ රුවල, නැංගුරම සුක්කානම කඩ කඩා මුහුදට විසිකරන කාලයයි මෙය

හැම කෙනෙකුම ඔහුටම හදාගත් පාරවල
අත්-පාවල සවි ශක්තිය පෙන්වමින්
මහන්තත්තකම පෙන්වමින්
බුද්ධියේ විශාරදකම පෙන්වමින්
පාණ්ඩිත්‍යය පෙන්වමින්
දූවිලි පොදක් වත් ගෑවෙන්නට නො දෙමින්
මට සිලිටු ඇඳුම් කට්ටල ඇඟලා
මහතැන්කම පෙන්වමින්
‘අද නම් වාසි නැහැ-හෙට අපේ කාලේ ආවහම
අපි තමයි ලොක්කෝ’ කියන කාලයයි මෙය

ස්පාඤ්ඤයේ නම් තවම සැණකෙළියේ
කිළිටු සර්ව පිත්තල මල් දමින් ඔතාලා
ඈ පෙර සිටියා මෙන්, දුප්පත්කමෙන්
බීමත් කමෙන්, ජරාවාසයට යමින් ජීවත් වෙනවා
නමුත් නීචකම රැවටිල්ල නමැති විෂ වයින්
පෙවී දැන් පැලැස්තර කඩාගෙන සැරව සමඟ ලේ දහරා ගලා එනවා

► අන්තෝනියෝ මචාදෝ
අනුවාදය: රංජිත් ගුණවර්ධන ‘බුද්ධිමතුන්ට උපහාරය(අන්තෝනියෝ මචාදෝ)’ (1975) කෘතියෙනි.
(‘මව්බිම’ – 2007 පෙබරවාරි 04 ඉරිදා)

ඈන් ෆ්රෑන්ක්: ව්‍යාකූලත්වය මැද ජීවිතය

In , quote from a Book, quoted Text on March 29, 2009 at 12:11 pm

“තවමත් හරිහැටි මා ගැන නොදන්නා මා වටා සිටින පුද්ගලයින්ට සහායක් වන්නට, සැනසුමක් වන්නට මට අවශ්‍යය. මගේ මරණයෙන් පසු වුවද එසේ වන්නට මට අවශ්‍යය ….”

“මිනිසුන් තුල තවමත්, ඉතාම යහපත් හදවත් ඇති බව මම විශ්වාස කරමි…”

“ව්‍යාකූලත්වය, දුක්ඛිතභාවය හා මරණය සතර අතම පැතිර තිබියදී, මට මගේ විශ්වාසයන් ගොඩනගා ගැනීමට අපහසුය. ලෝකය ක්‍රමයෙන් ම්ලේච්ඡ වෙමින් පවතින ආකාරය මම දකිමි. මට ඇසෙමින් තිබෙ ගර්ජනාවන් යම් මොහොතක අපව ද නසා දමනු නියතය. දශ ලක්ෂ ගනන් දෙනා විදිනා දුක මට ද දැනෙමින් තිබේ. දෙව් ලොව දෙසට හිස ඔසවා බලන මට සි‍තෙන්නේ, මෙම කෲරත්වයේ අවසන් සමය ඉක්මනින්ම එළැඹෙනු ඇත කියාය. මම මගේ කල්පනාවන් තව දුරටත් පවත්වාගෙන යමි. සාමකාමී බව යලි එලැඹි විට, මට ඒවාද රැගෙන ලෝකය වෙත පිය නැඟිය හැකි වනු ඇත. ….”

► ඈන් ෆ්රෑන්ක්  ‘ද ඩයරි ඔෆ් යන්ග් ගර්ල්’

ගොගොල් ගේ ලිපි: ප්‍රෙහෙලිකාවක් වන් ජිවිතය

In , quote from a Book, quoted Text on March 25, 2009 at 9:57 am

” සැබැවින් ම, සැම දෙන ම මා ප්‍රෙහෙලිකාවක් ලෙස සලකති. එහෙත් ඒ එක් කෙනෙකු වත්, මා මුළු මනින් විසඳා ගෙන නැත. ගෙදර දී ඔවුහු මා මුරණ්ඩු එකෙකැයි සිතති. – තමා ලෝකයේ අනෙක් අයට වඩා දක්ෂ යැයි සිතන්නා වූ ද, අනෙක් මිනිසුන්ට වඩා වෙනස් යැ යි සිනතන්නා වූ ද, ඉවසිය නෙහෙන කිසිි යම් අතිපණ්ඩිතයෙකැ යි මා ගැන සිතති. මේ ගැන මා, ඔබ ගැන ඇතුළතින් සිනා සුණු බව ඔබ විශ්වාස කරන්නෙහි ද? විටෙක ඔවුහුමට, නිහතමානී එකෙකැ යි – නිහතමාන භාවයටත් ඉවසීමටත් ආදර්ශයකැ යි පවසති. තවත් විටෙක, මම ඇත්ත වශයෙන් ම, ඉතාම ශාන්ත දාන්ත, ඉතා ම නිහතමාන, විනීත පුද්ගලයා වෙමි. තවත් විටෙක දී, මම බුම්මා ගත්, මනස්තාපයෙන් යුතු, අවලස්සන එකෙක් වෙමි. යළිත් තුන් වන විටෙක දී තොරතෝංචියක් නොමැති ව කථා කරන, මහා කරදර කාරයෙක් වෙමි. ඇතැම් මිනිසුන් සමඟ මම දක්ෂ ය. ඇතැම් මිනිසුන් සමඟ මම මෝඩ ය. ඔබ කැමති අන්දමකට මා ගැන සිතා ගන්න. එහෙත් මගේ චරිතය පවා ඔබට අනාවරණය කර දෙන්නේ මගේ තත්‍ය ජීවන කෘති පමණි “

► 1927 දෙසැම්බර් මස 20 වන දින ‘නිකොලායි වසිලීච්චි ගොගල් (1809-1852)’ විසින් සිය මවට යවන ලද ලිපියකිනි.
[‘ප්‍රස්තාවනාව’ – අභිරහස් විද්ධ චිත්‍රය හා වෙනත් කථා (‍ගොගල්) / පරි. කේ.ජි. කරුණාතිලක – 1997]
ISBN – 955 -551 – 101 -2

.. ඈ

In , සිතුවිලි, quote from a News Paper, quoted Text on March 24, 2009 at 11:01 am

” .. ඈ පිළිබඳ මගේ ප්‍රේමයේ අංශුමාත්‍රිය කලලය හදවත තුළ කවදා කොතැනකදී පිළිසිඳ ගත්තා දැයි මම නොදනිමි. ඒ කවදා වුවද කෙදිනක හෝ අය මගේ සිත සොරාගත් දවසකදීය. මම ඇයට ආදරය කළේ ඇයි? මම ආදරය කරන්නෙ ඇගේ මොනවාටද? යුවතියට මෘදු කැරලි හිසකෙස් ඇති බව සැබෑය. මල් පෙතිවන් දෙතොලුත්, තරුවන් ඇසුත් ඇති බව සැබෑය. පිරිපුන් ළමැදකුත්, පුළුල් නිතඹකුත් ඇති බව සැබෑය. තරුණයෙකුගේ නෙත ගැටුණ සැනින් වරක් දෙවරක් නොව සිය දහස් වරක් හොරෙන් රහසින් අගින් කොනින් අස්සෙන් මුල්ලෙන් ඇයව නැවතත්, නැවත නැවතත් දැක ගැනීමේ උවමනාවක් නිරායාසයෙන්ම ඇති කරවන මොළකැටි රූපකායක් ඇයට හිමිය. නමුදු මා ආදරය කළේ ඇගේ මේ සියල්ලටම නොවන බව මම දනිමි. ඇය පිළිබඳව සිතක් පහල වන්නට, ඈ පිළිබඳව ආකර්ෂණයක් හද තුල ජනිත වන්නට යට කී පසිඳුරන්ගේ සෝභාව හේතු පාදක නොවූවා යැයි කුහකයෙකු සේ ආත්ම වංචාකාරයෙකු සේ මම කිසිදාක නො කියමි. නමුදු දැන් ඒ සියල්ල නැතැත් ඇය අබ්බගාතයෙකු වුවත් මම ඇයට ආදරය කරමි. මගේ ජීවිතය සම්බන්ධ සකලවිද සිහිනයන් සොඳුරු පියුම් සේ මේ දහඅට හැවිරිදි සොඳුරු තරුණියගේ මනමාලකම්, කෝලකම් හා මොලකැටිකම් මත පූදිමින් තිබේ. ‍මේ හීන මියැදුනු දවසක මට ජීවත් විය හැකිදැයි, නොහඬා සිටිය හැකිදැයි මම නොදනිමි. කියවා ඇති බොහෝ නවකතා වලදී මෙන් ඇය උදෙසා ඇස් ඉස් මස් ලේ දන් දීමෙන් හෝ එවන් පරිත්‍යාගයක් කිරීමෙන් ඇයව ලබන්නට තරම් දෛවය ඇයට කුරිරු නොවේවායි මම පතමි. දෙවියන්ගෙන් ඉල්ලනවා නම් මා පළමුවෙන්ම ඉල්ලන්නේ ඇයව මට ලබාදෙන ලෙස නොවේ. ඇයව ජීවිතය පුරා සතුටින් තබන ලෙසය. ගුරු ගීතයෙහි අල්තිනායි ගේ සැපත සතුට වෙනුවෙන් දුයිෂෙන් තම හදවතේ උපන් නිකැලැල් ප්‍රේමය සදාකාලිකව දන් දුන්නේය. එවැනි උදාර එනමුත් අප්‍රසිද්ධ පෙම්වතෙකු වීමේ නිරාමිස ආශාවකින් මම පෙළෙමින් උන්නෙමි. ආදරයක් පටන්ගත යුත්තේ එය ලැබුණු පසු ජීවත් වන අයුරු දෙස සිහින දැක ඒ ඔස්සේ නොවේ. නොලැබුණහොත් ඉන් එහා ජීවත්වන ආකාරය දෙස බලා ඊට සුදානම්වය. .. “

► ‘දුන්හිඳ හැඬුවා’ ‘සමන් එදිරිමුණි’
‘තරුණයා’ (2008 ජුනි 05, බ්‍රහස්පතින්දා) | tracked at 24:03:2009

සිද්ධාර්ථ!

In quote from a Book, quoted poem on March 22, 2009 at 7:32 am

සිද්ධාර්ථ!
ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක
ඉරතුවෙන් ඉර්තුවට සත් මහල් ප්රාසාද
රජ ඉසුරු අපට නැත
එබැවින් ඔබට මෙන්
ගිහි ගෙයින් යා නොහැක පහසුවෙන්

මා ගියහොත්
අඹු දරුවෝ කුලී ගෙයක අනාථ වෙති
දරුවෝ දණගානා නොදරුවෝය
උන්ට බොන්ඩ ටින් කිරි පිටි හොයා දෙන්ඩ
මා නැත්නම් කෙනෙක් නැති ය
අනාගතය දෑතින් මිට මොලවා ගෙන
මා දිහාම බලා හිඳිති උන් හැම දෙන

නිරංජලා රෑ තිස්සේ නිදි මරාන
කොචිචරවත් දැලි පෙරාන
ඇටයි හමයි
පිටි කොටනවා, කිරි හදනව,
කැඳ උයනවා, රෙදි මදිනව

අම්ම කෙනෙක් වගෙයි
අක්ක කෙනෙක් වගෙයි
ආදරයේ උල්පත මට පාදා දුන්නේ ඇයයි
දිළිඳු ගෙයක සාගතයක
උන් තනි කර යා නොහැකිය

සංසාරේ කලකිරිලා මං එන කොට
නිරංජලා හිටියා මුඩුක්කුවක
දරු පැටියෙකුත් එක්ක අතරමං ව
කාගෙන් වත් හව්හරණක් නැතිව
ඇගෙ සැමියා මැරිලා බර ඇදලා
ඒ බර මම අර ගත්තේ
ඈ ගැන අනුකම්පාවෙන්

දෑතේ කරගැට සිබ සනසන්නට
ළා ගොයමේ දළු පවන් සලයි
දහදිය මුතු ඇට මල් වරැසා වී
කරල් බරින් පීදි වැගිරෙයි

අඩ සඳ මෝරන නිසසල අහසින්
බිළිඳු හදට කිරි දියර ගලයි
හෙට ඉදිවන නව ලෝකය දැක දැක
පුංචි පුතා හීනෙන් හිනැහෙයි

දහසක් වැව් බැඳි යෝධ මිනිස් කැල
යළි ඉපදී ඇත මව් දෙරණේ
සත් රැවනින් තව නිදහන් මතු වී
පුතුගෙ සිනහවෙනි ඔප වැටුනේ
දෑසේ කඳුළැලි පිස දා බලනෙමි
හෙට හිරු එළියට වඩින දිනේ
ණය නැති බිය නැති යුගයක
පුංචි පුතා රජ කරනු පෙනේ

මා ගත වෙහෙසට ආදරයෙන් දිය
උල්පත පාදන පුංචි පුතුන්
ඒ ගත වෙහෙසම සැපතක් වෙයි මට
ඔබ දකිනා කල පුංචි පුතුන්
දෙදහස් පන්සිය වරක් තිස්සේ
මා දුටු සිහිනය පුංචි පුතුන්
ඔබ හට ලෝකය ඉදිකර ද ීමිස
යා නොහැකිය මට පුංචි පුතුන්

සිද්ධාර්ථ!
එබැවින් අද
නියත විවරණය මට දුන මැනව

මේ ලියන මේසය ළඟ
මේ පුටුව මත හිඳ
මේ ලිපි ගොනු අතර මැද …
හාන පෝරු ගාන – වී වපුරන වෙල් යායක
සටන් පාඨ
වැඩ වර්ජන
කම්හල් දැති රෝද අතර-
ගෑනු පිරිමි එක රොත්තට හිර වී ගෙන
උදේ සවස වැඩට යනෙන කොච්චියක
දෙනෝ දහක් සෙනඟ අතර
බුදු වීමට
තනියම නොව
දෙනෝ දහක් සෙනඟ එක්ක
අපි ඔක්කොම – එකට බුදු වීමට

► මහගම සේකර
‘ප්‍රබුද්ධ’ කෘතියෙනි.

මම

In quote from Web, quoted poem on March 22, 2009 at 7:22 am

ත්‍රස්තවාදියෙක් වීමි.
ලේ වැකුණු අතීතයක
ආණ්ඩුවෙන්
නම් කරන ලද,
ජීවිතය ඉල්ලා
ඇවිස්සුන පරපුරක
මරණය නොඉවසූ
පුරුකක් වූ බැවින

ස්වයං පිටුවහලෙක් වීමි.
(මන්ත්‍රීවරයෙක් නොවී)
නිවටව
නියාලුව
නොනැගිට
හිරිකිත නැතිව
පවාදෙමින්
ටයර් ‍සේ පිළිස්සුව
හැට දහසක
සොයුරු මතක

දේශද්‍රෝහියෙක් වීමි
ආණ්ඩුවෙන්
දක්කන
වන්දිභට්ටයින් රැල
නම් කරන ලද,
මරණය හැර
සියල්ල
අහිමිවන
යුද්ධයෙන්
කිතිනොකැවුණු වරදට.
වරෙක
මාවෙත දිගුවුණු
ඇඟිල්ලම
තවකෙකු වෙත
දිගුවෙන විට
එය පෙන්වා දුන් වරදට.
මගේ පරපුරේ
ඝාතකයා ලවා
මගේ නොවන
පරපුරක්
ඝාතනය කිරීමට
අත්පොළසන්
නොදුන් වරදට.
ජීවිතය ඉල්ලා
නැගිටින හැමවර
මම අයත් පංතියට
ජාතිබේදයකින් තොරව
හිමිවන මරණයට
එරෙහි වූ වරදට.

► මහේෂ් මුණසිංහ (2009 03)
බුන්දි බ්ලොග් අඩවියෙනි.