“…. සැමකෙක්ම පවසනුයේ සත්‍ය ආගම තමන්ගේ විශ්වාසය පමණක් බවය. දුෂ්ඨත්වයේ මුල මෙයයි. අනාගත අරගලය සඳහා මතවාදී ආයුධ අපට සපයන පුරාතන චින්තනයන්ගේ අදහස් සහ අත්හදා බැලීම් සංවර්ධනය කරනු වෙනුවට අපි ගතානුගතික ආගමක සිරවෙමු. මෙලෙස මිනිසාගේ පිබිදීම නිශ්චල ජලාශයක ගිල්වා දමයි.”
“ප්‍රගතිශීලීත්වය වෙනුවෙන් පෙනී සිටින සෑම පුද්ගලයෙකුම පැරණි විශ්වාසයන්ගේ සියලු ඇදහිලි විවේචනය කිරීම අත්‍යවශ්‍යය. කරුණෙන් කරුණ පැරණි විශ්වාසයන්ගේ ගුණය අභියෝගයට ලක් කල යුතුය. සියලු විස්තර විශ්ලේෂණය කර වටහා ගත යුතුය. දැඩි තර්කනයකින් පසුව පවා ඕනෑම දර්ශනයක න්‍යායක් විශ්වාස කිරීමට යොමු වෙයි නම් ඔහුගේ විශ්වාසය පිළිගැනීමට ලක් වේ. ඔහුගේ තර්ක ක්‍රමයේ අඩුපාඩු පැවතිය හැකිය. නැතහොත් සාවද්‍ය විය හැකිය. ඔහුගේ ජීවිතයට මඟ පෙන්වන මූලධර්මය තර්කය බැවින් නිවැරදි වීමට ඔහුට අවස්ථාවක් තිබේ. එහෙත් අන්ධ විශ්වාසය විනාශකාරීය. එය මිනිසා සිය අවබෝධයේ ශක්තියෙන් ගලවා ප්‍රතිගාමියෙකු බවට පත් කරයි.”
“තමා යථාර්ථවාදියෙකු යයි හඳුන්වා ගන්නා ඕනෑම පුද්ගලයෙකු පැරණි විශ්වාසයන්හී සත්‍යයට අභියෝග කළ යුතුය. විශ්වාසයට තර්කයේ නිර්දය ප්‍රහාරයට ඔරොත්තු දිය නොහැකි නම් එය බිඳ වැටේ. ඉන් පසු ඔහුගේ කාර්්‍යය විය යුත්තේ නව දර්ශනයක් සඳහා මූලික කටයුතු වල නියැලීමය. නිශේධනාත්මක පක්ෂය මෙයයි. ධනාත්මක කටයුතුවලට එළැඹෙනුයේ ඉන් අනතුරුවය. එහිදි පැරණි කාලයේ ඇතැම් ද්‍රවශ නව දර්ශනයේ කුළුණු ඉදිකිරීමට භාවිතා කළ හැකිය. මෙම කේෂ්ත්‍රයේ ප්‍රමාණවත් අධ්‍යයන සිදුකර නොමැති බව මම පිළිගනිමි. පෙරදිග දර්ශනය හැදෑරීමේ දැඩි අභිලාෂයක් මා තුළ තිබුණ ද මට ඒ සඳහා තිබුණේ සීමිත අවස්ථාවක් සහ කාලයකි.එහෙත් මා ඉපැරීණ ිවිශ්වාස ප්‍රතික්ශේප කල පමණින් එය විශ්වාසයක් තවත් විශ්වාසයයකට එරෙහිව යෙදවීමක් නොවේ. ඊට වඩා ඉපැරණි විශ්වාසවල ගුණයට ප්‍රබල තර්ක මඟින් අභියෝග කිරීමට මට පුලුවන. මානව ප්‍රගමනය රඳා පවතින්නේ සොබා දහම පාලනය කිරීමට මිනිසා දක්වන සමත්කම මත බව අපි විශ්වාස කරමු. එය පසුපස සවිඥානික බලවේගයක් නොමැත. අපගේ දර්ශනය එයයි.”
‘නිදහස් අරගලයේ ආදර්ශය, භගත් සිං’ කෘතියෙනි.
Bhagath Singh – On the path of liberation
By Shiv Verma
පරිවර්තනය: උදිත අලහකෝන් (සමාජවාදී තරුණ සංගමයේ ප්‍රකාශනයක්)